brand logo

උතුරේ ජල ගැලීම් හේතුවෙන් පවුල් 13646 ක පුද්ගලයින් 44959 දෙනෙකු පීඩාවට

24 December 2018

උතුරු පළාතට බලපා ඇති ජල ගැලීම් හේතුවෙන් පළාතේ පවුල් 13646 කට අයත් පුද්ගලයින් 44959 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිළධාරීන් හා ප්‍රදේශයේ ආරක්ෂක අංශ පවසති. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසූවේ උතුරු පළාතේ දිස්ත්‍රික්ක කිලිනොච්චිය,මුලතිව්,මන්නාරම,වවුනියාව හා යාපනය දිස්ත්‍රික්කයන් තුළ ජල ගැලීම් හේතුවෙන් අවතැන්වූවන් රැදවීමට තාවකාලික අවතැන් කදවුරු 52 ක් පිහිටුවා ඇති අතර,අදාළ අවතැන් කදවුරු තුළ පවුල් 2661 කට අයත් පුද්ගලයින් 8539 දෙනෙකු රදවා සිටින බවයි. ජල ගැලීම් හේතුවෙන් උතුරු පළාතේ වැඩිම පිරිසක් කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන් පීඩාවට ලක්ව ඇති අතර, කිලිනොච්චිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිළධාරීන් පැවසූවේ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික්කය තුළ පවුල් 9475 කට අයත් පුද්ගලයින් 31234 දෙනෙකු පීඩාවට ලක්ව ඇති බවයි. දිස්ත්‍රික්කයේ පීඩාවට ලක්ව සිටින පිරිස් තාවකාලික රැදවුම් මධ්‍යස්ථාන 26 ක රදවා තිබෙන අතර, රැදවුම් මධ්‍යස්ථාන තුළ පවුල් 1373 කට අයත් පුද්ගලයින් 4649 දෙනෙකු වර්තමානයේ රැදී සිටින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිළධාරීන් පැවසූහ. මුලතිව් දිස්ත්‍රික්කය තුළ ජල ගැලීම් හේතුවෙන් පවුල් 3794 කට අයත් පුද්ගලයින් 12651 දෙනෙකු පීඩාවට ලක්ව සිටින අතර, මුලතිව් දිස්ත්‍රික්කයේ පීඩාවට ලක්වූවන් තාවකාලික රැදවුම් මධ්‍යස්ථාන 25 ක පවුල් 1240 කට අයත් පුද්ගලයින් 3805 දෙනෙකු රදවා සිටින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිළධාරීන් පැවසීය. යාපනය දිස්ත්‍රික්කය තුළ ජල ගැලීම් හේතුවෙන් පවුල් 273 කට අයත් පුද්ගලයින් 708 දෙනෙකු පීඩාවට ලක්ව සිටිති. ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිළධාරීන් පැවසූවේ වවුනියාව දිස්ත්‍රික්කය තුළ ජල ගැලීම් හේතුවෙන් පවුල් 77 කට අයත් පුද්ගලයින් 281 දෙනෙකු පීඩාවට ලක්ව සිටින බවයි. මන්නාරම දිස්ත්‍රික්කය තුළ ජල ගැලීම් හේතුවෙන් පවුල් 27 කට අයත් පුද්ගලයින් 85 දෙනෙකු පීඩාවට ලක්ව සිටින අතර, මන්නාරම දිස්ත්‍රික්කයේ පීඩාවට ලක්වූවන් තාවකාලික රැදවුම් මධ්‍යස්ථාන 01 ක පවුල් 27 කට අයත් පුද්ගලයින් 85 දෙනෙකු රදවා සිටින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිළධාරීන් සදහන් කළහ. ආපදාවට ලක්වූවන් බේරා ගැනීම වෙනුවෙන් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිළධාරීන් හා ආරක්ෂක අංශ කටයුතු කරන අතර ආරක්ෂක අංශ නිළධාරීන් 59 දෙනෙකු හා සෙසු සාමාජිකයින් 1019 දෙනෙකු ක්‍රියාකාරීව දායකවි සිටිති. කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් සුන්දරම් අරුමේනායගම් මහතා, උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් එන්.ඉලන්ගෝවන් මහතා හා ප්‍රදේශයේ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ ප්‍රධානත්වයෙන් සාකච්ජාවන් පැවැත්විණ. කිලිනොච්චිය ඉරණමඩුව ජලාශය වාන් දැමීම හා ප්‍රදේශයේ කුඩා වැව් වාන් දැමීම හේතුවෙන් ජල ගැලීම් ඇතිව තිබිණ. කිලිනොච්චිය ඉරණමඩු වැවේ වාන් මට්ටම අඩි 36 ක් වන අතර මේ වන විට වැවේ ජල මට්ටම අඩි 38 ක් දක්වා ඉහළ ‍ගොස් ඇති බව වාරිමාර්ග ඉංජිනේරුවන් පවසති. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරනු ලැබුවේ පළාතේ පීඩාවට පත්වූවන්ට සහන සැලසීම වෙනුවෙන් කිලිනොච්චිය,මුලතිව්,යාපනය,මන්නාරම හා වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත රුපියල් මිලියනය බැගින් රැපියල් මිලියන පහක මුදලක් කඩිනමින් ලබාදි ඇති බවයි. වවුනියාව - මාධව කුලසූරිය
 

More News..