brand logo

උතුරේ ජල ගැලීම් හේතුවෙන් පීඩාවට ලක්වූවන්ගේ ප්‍රමාණය ඉහළට

25 December 2018

උතුරු පළාතට නැවත වැසි තත්වයේ වැඩිවීමක් හටගෙන ඇති අතර,වර්ෂාව හේතුවෙන් ඇති වු ජල ගැලීම් තත්වයෙන් පළාතේ පවුල් 23054 කට අයත් පුද්ගලයින් 73851 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිළධාරීන් හා ප්‍රදේශයේ ආරක්ෂක අංශ පවසති. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසූවේ උතුරු පළාතේ දිස්ත්‍රික්ක කිලිනොච්චිය,මුලතිව්,මන්නාරම,වවුනියාව හා යාපනය දිස්ත්‍රික්කයන් තුළ ජල ගැලීම් හේතුවෙන් අවතැන්වූවන් රැදවීමට තාවකාලික අවතැන් කදවුරු 39 ක් පිහිටුවා ඇති අතර,අදාළ අවතැන් කදවුරු තුළ පවුල් 3698 කට අයත් පුද්ගලයින් 11310 දෙනෙකු රදවා සිටින බවයි. අවතැන් කදවුරු තුළ ජිවත්වන ජනතාව වෙත අවශ්‍ය පහසුකම් සේවා සපයමින් සිටින අතර,පිසු ආහාර ලබාදීම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන හා දිස්ත්‍රික්කයන්ගේ ආරක්ෂක අංශ විසින් සිදුකරනු ලබයි. අවතැන් කදවුරු ජනතාව පැවසූවේ තමන්ට බෝතල් කළ පානීය ජලය ලබාදීමේ හැකියාවක් පවතින්නේ නම් විශාල සහනයක් බවයි. ජල ගැලීම් හේතුවෙන් උතුරු පළාතේ වැඩිම පිරිසක් කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන් පීඩාවට ලක්ව ඇති අතර, කිලිනොච්චිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිළධාරීන් පැවසූවේ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික්කය තුළ පවුල් 12118 කට අයත් පුද්ගලයින් 39932 දෙනෙකු පීඩාවට ලක්ව ඇති බවයි. දිස්ත්‍රික්කයේ පීඩාවට ලක්ව සිටින පිරිස් තාවකාලික රැදවුම් මධ්‍යස්ථාන 24 ක රදවා තිබෙන අතර, රැදවුම් මධ්‍යස්ථාන තුළ පවුල් 2465 කට අයත් පුද්ගලයින් 7850 දෙනෙකු වර්තමානයේ රැදී සිටින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිළධාරීන් පැවසූහ. මුලතිව් දිස්ත්‍රික්කය තුළ ජල ගැලීම් හේතුවෙන් පවුල් 6520 කට අයත් පුද්ගලයින් 20737 දෙනෙකු පීඩාවට ලක්ව සිටින අතර, මුලතිව් දිස්ත්‍රික්කයේ පීඩාවට ලක්වූවන් තාවකාලික රැදවුම් මධ්‍යස්ථාන 13 ක පවුල් 1200 කට අයත් පුද්ගලයින් 3365 දෙනෙකු රදවා සිටින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිළධාරීන් පැවසීය. යාපනය දිස්ත්‍රික්කය තුළ ජල ගැලීම් හේතුවෙන් පවුල් 4257 කට අයත් පුද්ගලයින් 12642 දෙනෙකු පීඩාවට ලක්ව සිටිති. ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිළධාරීන් පැවසූවේ වවුනියාව දිස්ත්‍රික්කය තුළ ජල ගැලීම් හේතුවෙන් පවුල් 132 කට අයත් පුද්ගලයින් 455 දෙනෙකු පීඩාවට ලක්ව සිටින බවයි. මන්නාරම දිස්ත්‍රික්කය තුළ ජල ගැලීම් හේතුවෙන් පවුල් 27 කට අයත් පුද්ගලයින් 85 දෙනෙකු පීඩාවට ලක්ව සිටින අතර, මන්නාරම දිස්ත්‍රික්කයේ පීඩාවට ලක්වූවන් තාවකාලික රැදවුම් මධ්‍යස්ථාන 01 ක පවුල් 27 කට අයත් පුද්ගලයින් 85 දෙනෙකු රදවා සිටින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිළධාරීන් සදහන් කළහ. ආපදාවට ලක්වූවන් බේරා ගැනීම වෙනුවෙන් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිළධාරීන් හා ආරක්ෂක අංශ කටයුතු කරන අතර ආරක්ෂක අංශ නිළධාරීන් 59 දෙනෙකු හා සෙසු සාමාජිකයින් 1019 දෙනෙකු ක්‍රියාකාරීව දායකවි සිටිති. කිලිනොච්චිය ඉරණමඩුව ජලාශය වාන් දැමීම හා ප්‍රදේශයේ කුඩා වැව් වාන් දැමීම හේතුවෙන් ජල ගැලීම් ඇතිව තිබිණ. කිලිනොච්චිය ඉරණමඩු වැවේ වාන් මට්ටම අඩි 36 ක් වන අතර මේ වන විට වැවේ ජල මට්ටම අඩි 38 ක් දක්වා ඉහළ ‍ගොස් ඇති බව වාරිමාර්ග ඉංජිනේරුවන් පවසති. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරනු ලැබුවේ පළාතේ පීඩාවට පත්වූවන්ට සහන සැලසීම වෙනුවෙන් කිලිනොච්චිය,මුලතිව්,යාපනය,මන්නාරම හා වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත මුදල් ප්‍රතිපාදන කඩිනමින් ලබාදි ඇති බවයි. කිලිනොච්චිය යුධ හමුදා නිළධාරීන් මැදිහත් වි ජනතාව බේරා ගැනීමේ මෙහෙයුම් හා ආපදාවට ලක්වු වැව් සකස් කිරීමද මේ වන විට සිදුකරමින් පවති. වවුනියාව - මාධව කුලසූරිය
 

More News..