brand logo

උත්සව සමයේ සෑම පවුලකටම සහන පොළියට මූල්‍ය පහසුකම්

16 December 2020

පවතින කොවිඩ් වසංගත තත්වය තුළ එළඹෙන නත්තල් සහ නව අවුරුදු උත්සව වෙනුවෙන් සමයේ විවිධ අවශ්‍යතා සපුරාගැනීම සඳහා සෑම පවුලකටම සහන පොලියට මූල්‍ය පහසුකම් සැලසීමට රජය තීරණය කරයි. රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් අමාත්‍යවරයාගේ උපදෙස් මත මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා වන චක්‍ර ලේඛය අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතාගේ අත්සනින් යුතුව නිකුත් කිරීමට නියමිත බව නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සඳහන් කරයි. උදාවන නත්තල හා නව වසර සැමරීම වෙනුවෙන් ලබා දෙන මෙම පරිපූරක උත්සව ණය යෝජනා ක්‍රමය 0.625ක පොලී අනුපාතයක් යටතේ මාස 10කින් ගෙවීමට යටත් වන පරිද්දෙන් ලබා දීමට නියමිතය. 021 ජනවාරි සිට ඔක්තෝබර් 31 දක්වා කාලය ඇතුළත සේවකයාගේ වැටුපෙන් ණය මුදල අය කර ගැනේ. ණය සම්පාදනය කාණ්ඩ 03ක් යටතේ සිදු කරනු ලබන අතර මසකට ආදායම රු. 50,000.00කට වැඩි රාජ්‍ය නිලධාරීන් සදහා රු. 50,000.00ක ණය මුදලක් ද රු. 25,000.00ත් රු. 50,000.00ත් අතර වැටුප් ලබන නිලධාරීන් සඳහා රු. 25,000.00ක ණය මුදලක් ද මසකට රු. 25,000.00කට අඩු වැටුප් ලබන රාජ්‍ය නිලධාරීන් සඳහා රු. 10,000.00ක ණය මුදලක් ද මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ලබා ගැනීමට ඉඩ සලසා ඇත. ණය සපයනුයේ ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සහ සමෘද්ධි බැංකුව මගිනි. පරිපූරක සහන මූල්‍ය පහසුකම් ලබා ගැනීමට කැමති රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේ සේවකයන් සිය ප්‍රධානීන්ට ඒ බව දැනුම් දිය යුතුය. ආයතන ප්‍රධානියා තම සේවකයන්ගේ සහතික කළ නාම ලේඛනය සේවා ස්ථානය අසළ රාජ්‍ය බැංකුව වෙත ඉදිරිපත් කළ විට එකී බැංකු ශාඛාව විසින් සේවකයන්ගේ ගිණුම්වලට නියමිත මුදල නොපමාව බැර කරනු ලැබේ.  
 

More News..