brand logo

උණ-සෙම්ප්‍රතිශ්‍යාව මෙන් කොවිඩ් ද යළි යළි වැලඳෙනවා

15 July 2020

කොවිඩ් -19 වයිරසය නැවත නැවත වැලඳීමේ අවදානමක් පවතින බව පර්‌යේෂණයකින් හෙළිවී තිබේ. එම පර්‌යේෂණයට අනුව කොවිඩ් -19 වයිරසය සඳහා ප්‍රතිශක්තිය ලබාදෙන රුධිර ප්‍රතිදේහ මාස කිහිපයකදී ක්ෂය වී (අඩුවී) යයි. සාමාන්‍ය උණ හා සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වවලදී සිදුවන්නේද එයමය. ප්‍රතිදේහ අඩුවූ විට කොවිඩ් -19 වයිරසය යළි ආසාදනය විය හැකි බව පර්‌යේෂකයෝ පවසති. එම පර්‌යේෂණයට අනුව කොවිඩ්- 19 ආසාදිත පුද්ගලයන්ගේ ශරීරවල වයිරසය ක්‍රියාත්මක වන උච්චතම අවස්ථාවේ රුධිරයේ ශක්තිමත් ප්‍රතිදේහ 60%ක් පමණ වර්ධනය වන අතර මාස තුනකට පසුව එම ප්‍රතිදේහ මට්ටම 17%ක් දක්වා අඩු වන බව හඳුනාගෙන ඇත. ඇතැම් ආසාදිත පුද්ගලයන්ගේ රුධිරයේ ප්‍රතිදේහ මට්ටම ආසාදනයෙන් මාස 03කට පසුව බිංදුව (0) දක්වා අඩුවී ඇතැයිද පර්‌යේෂකයෝ පවසති. පර්‌යේෂකයන් පවසන්නේ මෙම අනාවරණය කොවිඩ් -19 වයිරසයට එරෙහි එන්නතක් නිර්මාණය කිරීමේ යෙදී සිටින විශේෂඥයන් තවදුරටත් අසීරුතාවට පත් කරවන්නක් බවයි. මෙම තත්ත්වය මත නිර්මාණය කෙරෙන එන්නතක් වඩාත් ශක්තිමත් විය යුතු බවද එම නිසා එන්නතක් නිර්මාණය කිරීමේ කාලය තවදුරටත් දීර්ඝවනු ඇතැයිද පර්යේෂකයෝ පවසති. විශේෂයෙන්ම එන්නත්වල දිගුකාලීන කාර්යක්ෂමතාවට මෙම අවදානම දැඩිව බලපාන බව චීනයේ වූහාන් සහ එක්සත් ජනපදයේ ටෙක්සාස් විශ්වවිද්‍යාලවල මීට පෙර සිදුකළ මෙවැනිම පරීක්ෂණවලින් නිල නොවන ආකාරයෙන් තහවුරු කර ඇතැයිද චයිනා ඩේලි පුවත් සේවය වාර්තා කරයි. නයන තරංග ගමගේ
 

More News..