brand logo

උණවටුනේ සංචාරක හෝටල්වලට උණ ගැනෙයි

14 July 2020

සංචාරකයන් සඳහා ගුවන්තොටුපොළ ඉදිරියේදී විවෘත වුවද සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි නොවූ සංචාරක හෝටල් හිමියන්ට එම සංචාරකයන් සඳහා නවාතැන් පහසුකම් ලබාදීමට හැකියාවක් නැතැයි උණවටුන හෝටල් හිමියන්ගේ සංගමයේ සභාපති රූපසේන කොස්වත්ත පැවැසීය. කොවිඩ් වසංගතය හේතුවෙන් සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි හෝටල් සඳහා පමණක් නවාතැන් දීමට අනුමැතිය ලබාදුන්නද, උණවටුනේ පවත්වාගෙන යන බොහෝමයක් හෝටල් එසේ ලියාපදිංචි කර නොමැති බවද ඔහු ‘අරුණ’ට පැවැසීය. වසර පනහකට ආසන්න කාලයක් ගම්මුන් විසින් ගොඩනගාගත් උණවටුන සංචාරක කලාපයට සංචාරකයන් ඇදී ආවේ එහි සුන්දරත්වය මෙන්ම ගම්මුන්ගේ ආචාරශීලීත්වය නිසා බවද හෙතෙම කීවේය. සංචාරක මණ්ඩලය මැදිහත්ව ගෙන එන නියාමන කුඩා පරිමාණයේ ව්‍යාපාරිකයන්ට දරාගත නොහැකි බව ඔහු පැවැසීය. කෙසේ නමුත් ව්‍යාපාර නාම ලියාපදිංචිය, ප්‍රාදේශීය සභා වෙළෙඳ බලපත්‍රය මෙන්ම පරිසර බලපත්‍රයද මෙකී ව්‍යාපාරිකයන් සතුව පවතින බවද හෙතෙම සඳහන් කළේය. මේ පිළිබඳව අප සංචාරක මණ්ඩලයෙන් කළ විමසීමකදී එහි නිලධාරියෙක් සඳහන් කළේ පවතින වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ අනුගමනය කිරීමට තම ආයතනය බැඳී සිටින බවයි. එමෙන්ම ලියාපදිංචි නොකළ හෝටල් සඳහා මාස හයක තාවකාලික ලියාපදිංචිය ලබාගත හැකි බවත්, ඒ ඒ ව්‍යාපාරවල ප්‍රමාණය සහ ස්වභාවය අනුව ලියාපදිංචිය සිදුකරන ආකාරය වෙනස් බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය. ශිරන්තනි මානවඩු
 

More News..