brand logo

ඊ-ලියාපදිංචියේ සියයට 50ක් දෝෂ සහිත ඔප්පු

08 May 2021

නව ඊ-ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය (e-Registry) යටතේ පරිගණකගත කෙරෙන මෙරට ඉඩම් ඔප්පුවලින් 50%කට වැඩි ප්‍රමාණයක් වංචනික ලෙස සකස් කරන ලද හෝ දෝෂ සහිත ඔප්පු බව ඉඩම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු වාර්තා සඳහන් කරයි. ඊට හේතු වී ඇත්තේ දැනට දෙපාර්තමේන්තුව සතුව ඇති ව්‍යාජ ලෙස සකස් කළ සහ හානියට පත් ලේඛන (පත් ඉරු ඇතුළුව) ඒවායේ සත්‍යතාව පරික්ෂා කිරීමකින් තොරව පවතින ආකාරයෙන්ම පරිගණකගත කිරීම මෙම ඊ-ලියාපදිංචිය යටතේ සිදු කිරීමයි. මේ පිළිබඳ අදහස් පළ කළ දෙපාර්තමෙන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන් කළේ දැනට ඉඩම් ලියාපදිංචිය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන්නේ 1927 වර්ෂයේ සම්මත කෙරුණු ඉතා පැරැණි නීතියක් බවයි. එම නීතිය යටතේ වංචනික ඔප්පු ලියාපදිංචිය සඳහා ඉදිරිපත් වුවද ඒවා ප්‍රතික්ෂේප කිරීමේ බලයක් ඉඩම් රෙජිස්ට්‍රාර් ජෙනරාල්වරයා සතුව නැත. එම නිසා එලෙස ලියාපදිංචි කර ඇති වංචනික සහ ගැටලු සහගත ඔප්පු සියල්ල දැන් නව ඊ-ලියාපදිංචිය යටතේ එම අසත්‍ය තොරතුරු සමගම පරිගණකගත කර නීත්‍යනුකූලභාවයක් ලබාදෙන බව අදාළ නිලධාරියා පෙන්වා දුන්නේය. ලෝක බැංකුවේ ආධාර ලබන මෙම ඊ-ලියාපදිංචි කිරීමේ වැඩසටහන හා මෙම වසර ඇතුළත (2021) අවසන් කිරීමට ආධාර ලබාදෙන පාර්ශ්වයෙන් බලකෙරෙන බැවින් මෙලෙස දෝෂ සහගත ඉඩම් ඔප්පු කිසිදු සොයා බැලීමකින් තොරව පරිගණකගත කෙරෙන බවද වාර්තා සඳහන් කරයි. මේ නිසා අදාළ ඉඩම්වල සැබෑ හිමිකරුවන්ට එම ඉඩම් විකිණීමේ දී, පැවරීමේ දී මෙන්ම ඒවා වෙනුවෙන් බැංකු ණය ලබා ගැනීමේ දී බරපතළ ගැටලුවලට මුහුණ දීමට සිදුවන බවද වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි. මේ පිළිබඳ ඉඩම් රෙජිස්ට්‍රාර් ජෙනරාල් ඩබ්ලිව්.එම්.එම්.බී. වීරසේකරගෙන් ‘අරුණ’ කරන ලද විමසීමකදී ඔහු කියා සිටියේ ඊ-ලියාපදිංචිය යටතේ පරිගණක ගත කෙරෙන ඉඩම් ඔප්පුවල සාවද්‍යභාවය හෝ නිවවැරදි භාවය සොයා බැලීම සඳහා තම ආයතනයට බලයක් නොමැති බවයි. එම නිසා යම් ඔප්පුවක සැබෑ හිමිකම පිළිබඳ ගැටලුවක් මතුවුවහොත් ඒවායේ හිමිකරුවන් විසින් අධිකරණමය ක්‍රියාවලියක් මගින් ඒවා විසඳා ගත යුතු බවද ඔහු සඳහන් කළේය. එසේම දැනට තාවකාලිකව අත්හිටුවා ඇති ඊ-ලියාපදිංචි කිරීමේ වැඩසටහන ලබන ජුලි මාසයේ සිට නැවත ආරම්භ කරන බවද හෙතෙම වැඩිදුරටත් පැවැසීය. නයන තරංග ගමගේ
 

More News..