brand logo

ඊ - මෝටරින් ක්‍රියාවලිය ජාතික ආරක්ෂාවත් අනතුරේ දමයි

30 March 2019

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරන්නට යන ඊ- මෝටරින් ක්‍රියාවලිය යටතේ රටේ අතිශය සංවේදී ආරක්ෂක තොරතුරු පිටස්තර පිරිස් අතට පත්වීම නිසා රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්න මතුවී තිබේ. මෙම නව ක්‍රමය යටතේ මෙතෙක් එම දෙපාර්තමේන්තුවේ සේවකයන් විසින් සිදුකළ වාහන ලියාපදිංචිය, පැවරීම ආදී බොහෝ කටයුතු පෞද්ගලික සමාගමක් වෙත පවරා ඇත. දූෂිත ටෙන්ඩර් පටිපාටියක් යටතේ අදාළ පවරාදීම සිදුකර ඇත්තේ දැනටමත් එහි රියදුරු බලපත්‍රය මුද්‍රණය කරන විදෙස් සමාගමකටය. එම කාඩ්පතද මිල අධිකවීම, නිසි ප්‍රමිතියෙන් යුක්ත නොවීම, කාඩ් පත මැකී යාම හා කැඩී යාම ආදී දෝෂ නිසා මහජනතාවට බරපතළ දුෂ්කරතාවලට පත්වන්නට සිදුව තිබේ. අදාළ කටයුතු විදෙස් සමාගමකට පවරාදීම හරහා මෙරට සියලු රථ වාහන තොරතුරු හා මහජනතාවගේ සංවේදී තොරතුරු බාහිර පාර්ශ්ව අතට පත්වීම සිදු වෙයි. ඒ මගින් ත්‍රස්තවාදී සංවිධාන හෝ වෙනත් අපරාධ කණ්ඩායම් ඒවා ලබා ගත්තද ඔවුන් රජයේ සේවකයන් නොවන බැවින් කළ හැකි කිසිවක් නොමැත. එවිට ඕනෑම වාහනයකට අදාළ විස්තර ලබාගෙන ඊට ප්‍රහාරයක් එල්ල කිරීම පවා පහසුවෙන් කළ හැකි අතර මෙය ප්‍රභූ ආරක්ෂාවට පවා බරපතළ ප්‍රශ්නයකි. එසේම ඒ මගින් වාහන ලියාපදිංචියෙන්, පැවරීමෙන් හා වෙනත් සේවාවලින් මෙතෙක් රජයට ලැබුණු අති විශාල ආදායමක්ද රජයට අහිමිවී විදෙස් රටකට ගලායාම සිදුවේ. එම දෙපාර්තමේන්තුව සතුව උපාධිධාරීන් ඇතුළු දක්ෂ සේවක පිරිසක් සිටියදී ජාතික ආරක්ෂාවද අනතුරේ හෙළමින් මේවා පෞද්ගලීකරණය කරනු ලබන්නේ කොමිස් කුට්ටි හේතුවෙන් බවත් නාරාහේන්පිට එම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ බිම් මහල සේවකයන් ඉවත් කර එම සමාගමට ලබා දෙන බවත් පවසන දෙපාර්තමේන්තු සේවකයෝ වහාම ජනාධිපතිවරයාත් රජයත් මැදිහත්වී මෙම අපරාධය නතර කරන ලෙස ඉල්ලා සිටිති. මේ අතර පසුගියදා මෙම දෙපාර්තමේන්තුවේ කටයුතු පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ බරපතළ චෝදනාවලට ලක්විය. අය වැය කාරක සභා විවාදයේදී ප‍්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශ වැය ශීර්ෂය පිළිබඳ අදහස් දක්වමින් මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව හොර ගුහාවක් බවද එය ශ‍්‍රී ලංකාවේ දූෂිතම ආයතනය බවට පත්ව ඇතැයිද පක්‍ෂ විපක්‍ෂ මන්ත‍්‍රීවරු පාර්ලිමේන්තුවේදී චෝදනා එල්ල කළහ. එහිදී දූෂණ චෝදනාවලට ලක්වූ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි එම තනතුරින් ඉවත් කරන ලෙස ප්‍රවාහන ඇමැති අර්ජුන රණතුංග ලබා දුන් නියෝගය මේ වන විට ප්‍රවාහන අමාත්‍යංශ ලේකම් එල්.පී. ජයම්පති විසින් පැහැර හැර තිබේ. හිටපු ප්‍රවාහන ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතාට ලබා දෙන්නට යැයි පවසමින් මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා මුදල් ගසා කන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය මෙහිදී චෝදනා කරන ලදී.මීට අමතරව ඔහු විසින් සිදුකරන දූෂණ වංචා ගණනාවක් පිළිබඳව මෙහිදී හෙළිදරව් කෙරිණි. රජයේ නිලධාරියකුට මෙවැනි බරපතළ චෝදනා එල්ලවූ විට අදාළ නිලධාරියා එම තනතුරින් තාවකාලිකව හෝ ඉවත් කර පරීක්ෂණ පැවැත්විය යුතු අතර එම තැනැත්තා ආයතන ප්‍රධානියා බැවින් ඔහු එම තනතුරේ තබාගෙන සාධාරණ පරීක්ෂණයක් පැවැත්වීම සාර්ථක නොවනු ඇත.
 

More News..