brand logo

ඊළඟ සුනාමිය ලංකාවට එන්නේ බටහිර මුහුදෙන්ද?

26 December 2020

මෙයට වසර දාසයකට කලින් සුමාත්‍රා ප්‍රදේශයේ ඇතිවූ විශාල භූමිකම්පාව නිසා හටගන්නා ලද සුනාමිය වසර දාසයකට පෙර ලංකාවට ආවේ ඊයේ (26) වැනි දිනකය. ඉන් ඇති වූ දරුණු ඛේදවාචකය පිළිබඳව මතකයන් තවමත් අප අතර නොමැකී පවතී. සුමාත්‍රා මුහුදු ප්‍රදේශයේ විශාල භූමිකම්පාවක් ඇතිවූවහොත් එමගින් සුනාමියක් හටගනී යැයි දැක අපි ඉතා සැලකිලිමත් වන්නෙමු, මෙම කලාපයේ ස්ථාපිත කර ඇති සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතිය මගින් ඵ් පිළිබඳ තොරතුරු ලබා ගැනීමට ද හැකියාවක් ඇත. එය සාධනීය ලක්‍ෂණයක් වූවත් තවමත් ශ්‍රී ලංකාවට බටහිර දෙසින් ඉතාමත් ඈතින් පිහිටි උතුරු අරාබි මුහුදේ මැක්රම් මුහුදු ප්‍රදේශයේ හටගන්නා භූමිකම්පා පිළිබඳ සැලකිලිමත් බවක් නොදක්වයි. මෙම ප්‍රදේශයද සුමාත්‍රා මුහුදු ප්‍රදේශය මෙන් සුනාමි භූමිකම්පා ඇති වන ප්‍රදේශයකි. අනාගතයේදී එහි විශාල සුනාමි භූමිකම්පාවක් ඇතිවේ යැයි අනතරු අඟවා ඇත. සාපේක්‍ෂ වශයෙන් විශාල භූමිකම්පාවක් මුහුදේ ඇති වුවහොත් එමගින් සුනාමියක් ඇතිවේ යැයි බොහෝ අය විශ්වාස කරති. එහෙත් මෙම කරුණ සම්පූර්ණයෙන්ම සත්‍ය නොවේ. සුමාත්‍රා කලාපයේ විශාල භූමිකම්පා ඇතිවනුයේ 2004 වර්ෂයෙන් පසුව නොවේ. පසුගිය වසර සියයක කාලය තුළ එහි ඇති වූ භූමිකම්පා පිළිබඳව අධ්‍යයනය කිරීමේ දී පැහැදිලි වන පරිදි එහි රික්ටර් පරිමාණයේ ඒකක 7.5 ට වැඩි භූමිකම්පා 15 කට අධික සංඛ්‍යාාවක් ඇතිවී ඇත. එහෙත් ඒවා ඇති වූ බව එවකට සිටි බොහෝ දෙනා නොදැනා සිටියා පමණක් නොව එම නොදැන සිටීම නිසාම සුනාමි බියක් ද ඇතිවී නොමැත. සමහර විට එම භූ චලන නිසා යම්කිසි ප්‍රමාණයට විශාල මුහුදු රළක් හෙවත් සුනාමි තත්ත්වයක් ඇතිවූවා විය හැකි වූවත් එය සාපේක්‍ෂ වශයෙන් කුඩා නිසා අප හට නොදැනුනා විය හැකිය. 1931 වර්ෂයේ දී වධති නමැති භූකම්පන විද්‍යාඥයා විසින් නැගෙනහිර ජපානයේ ෆුකුෂිමා සහ ඉබරකි යන ප්‍රදේශවල භූමිකම්පා ඇතිවන ස්ථාන සහ ඒවා ඇතිවන ගැඹුරවල් අධ්‍යයනය කරන ලද අතර එහි ගැඹුරවල් ජපාන ආගාධයේදී කිලෝමීටර 1 ක අගයක පමණ සිට ගොඩබිම දෙසට ගමන් කරන විට කිලෝමීටර 700 දක්වා ක්‍රමයෙන් වැඩිවන බව සොයා ගන්නා ලදී. 1942 වර්ෂයේදී බෙනිඕෆ් නැමැති භූ භෞතික විද්‍යාඥයා ඉහත ආකාරයට සමාන ක්‍රියාවලියක් සිදුවන ලෝකයේ වෙනත් ප්‍රදේශ ඇති බවද, ඒවා අතර ඇමරිකාවේ ඇලස්කා ප්‍රදේශයට සම්බන්ධ ඇලුෂන් මුහුදු ප්‍රදේශය, මධ්‍යම සහ දකුණු ඇමරිකා මුහුදු ප්‍රදේශ, සුමාත්‍රා මුහුදු ප්‍රදේශ ආදිය දැක්විය හැකි බවද සොයා ගන්නා ලදී. මෙම අදහස පෘථිවිය එකිනෙකට සාපේක්‍ෂව ගමන් කරන භූතලවලින් සමන්විත යැයි යන තල භූ කාරක මතය සනාථ කිරීමට ඉවහල් විය. මෙවන් කලාප වධති-බෙනිඕෆ් කලාප හෙවත් අබිසරණ කලාප ලෙස හඳුන්වන ලදී. ශ්‍රී ලංකාවට බටහිර දෙසින් ඉතාමත් ඈතින් පිහිටි උතුරු අරාබි මුහුදේ මැක්රම් මුහුදු ප්‍රදේශයද සුමාත්‍රා මුහුදු ප්‍රදේශය මෙන් සුනාමි භූමිකම්පා ඇති වන ප්‍රදේශයකි. එම ප්‍රදේශයේ නුදුරු අනාගතයේදී විශාල සුනාමි භූමිකම්පාවක් ඇතිවේ යැයි අනතුරු අඟවා ඇත. 1945 නොවැම්බර් මස 28 වන දින මැක්රම් මුහුදු ප්‍රදේශයේ ඇති වූ සුනාමි භූමිකම්පාව මගින් ඇති වූ සුනාමිය හේතුවෙන් උතුරු පාකිස්තානයේ පමණක් පුද්ගලයන් 4000 ක ට වැඩි පිරිසකගේද ඉන්දියාවේ බටහිර මුහුදු ප්‍රදේශය ඉරානය ඕමානය ඇතුළු ආසන්න රටවල විශාල පිරිසකගේ ද ජීවිත අහිමි විය. 2004 වර්ෂයේදී මෙන් විශාල භූමිකම්පාවක් මැක්රම් මුහුදු ප්‍රදේශයේ ඇතිවුව හොත් එමගින් ඇතිවන සුනාමි තත්ත්වය ශ්‍රී ලංකාවේ බටහිර සහ දකුණු දිග වෙරළ තීරයට වැඩි වශයෙන් බලපා හැකිය. එහෙත් ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ තීරයට සුනාමි තරංග ළඟාවීමට පැය පහකට වඩා කාලයක් ගතවන නිසා හොඳින් සූදානම් වුවහොත් ඇතිවන ආපදාවන් අවම කරගත හැකිය. කැලණිතිස්ස රජු සමයේ විහාර මහා දේවියගේ කතා පුවතින් දැක්වෙනුයේ සුනාමියක් පිළිබඳව නම් එය පැමිණියේද මෙම මැක්රම් මුහුදු ප්‍රදේශයේ සිට බව අනුමාන කළ හැකිය. ඊට හේතු වන්නේ කැලණිය ඇත්තේ ශ්‍රී ලංකාවේ බටහිර දෙසින් වීමය. 2004 වර්ෂයේදී ලංකාවට බලපාන ලද, සුනාමියට හේතු වූ ආකාරයේ විශාල භූමිකම්පාවන් ඇතිවීම ඉතාමත් විරල වන අතර, එවන් විශාල ශක්තියක් එකවර පිටකිරීමට ඇති හැකියාව ඉතා අල්ප වන බැවින්, එවන්නක් සිදුවීම කාලාන්තරයක් ගතවී ඉතාමත් කලාතුරකින් සිදුවන සිදුවීමක් ලෙස දැක්විය හැකිය. සාපේක්‍ෂව කුඩා භූමිකම්පාවක් ඇතිවූ විටද, සුනාමි තත්ත්වයක් ඇතිවන අතර, එහිදී ඇතිවන වෙනස රළ පහරට සාපේක්‍ෂව ගත්කල ඉතා කුඩා නිසා අපට නොදැනෙන නමුත්, විශාල භූමිකම්පාවක් නිසා ඇතිවන රළ පහරේ වෙනස්වීම වැඩිනිසා විශාල සුනාමියක් ලෙස අපට දැනේ. ශ්‍රී ලංකාව තුළද විශාල භූමිකම්පා ඇතිවීමේ හැකියාවන් අවම වූවද 2004 වර්ෂයේ සුනාමි ඇතිවන අවස්ථාවේදී ආරක්‍ෂක උපක්‍රම භාවිත නොකිරීම හේතුවෙන් විශාල හානි සිදුවූවා මෙන්ම භූමිකම්පාවක් ඇතිවීමේදීද එවන් ආරක්‍ෂක උපක්‍රම භාවිත නොකිරීමෙන් හානි සිදුවීමේ අවදානම වැඩිය. හානි සිදුවීමේ අවදානම අඩුකර ගැනීම සඳහා ජනතාව දැනුවත් කිරීම ඉතාමත් යෝග්‍ය වේ. ස්වභාවිකව ඇතිවන මෙවන් සිද්ධීන් ඇතිවීම වැළැක්වීමට තවම විද්‍යාව දියුණු වී නොමැති අතර, කළහැකි දෙය වන්නේ, මෙම ස්වභාවික විපත් ඇතිවීම කලින් පුරෝකථනය කර, එයට සුදුසු ලෙස සූදානම් වීම පමණි. මහාචාර්ය එන්. ජී. එස්. ශාන්ත ගමගේ භෞතික විද්‍යා අධ්‍යනාංශය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
 

More News..