brand logo

ඊළඟ ජනාධිපතිගේ ආදර්ශය කව්ද?

27 October 2019

ජනාධිපතිවරණ රියැලිටි රංග පීඨය ක්‍රමයෙන් උණුසුම් වෙමින් තිබේ. තව ඇත්තේ දින දහනවයකි. වගාඩම්බරවලට අමතරව, ඇනුම් පදද ඇසේ. ධුරය අපේක්ෂාවෙන් ම තරග වදින දෙපක්ෂයත්, තෙවැන්නා වී, ඊළඟ පාර්ලිමේන්තුවේ වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට මානබලන ජාතික ජන බලවේගයත්,  ජනතාව තමන්ව කාර්යයට කැඳවනු ලැබුවහොත්, මේ මේ දේවල් කරනවායි කෑ මොර දෙමින් සිටී. පෙරමුණ ගෙන සිටින අපේක්ෂකයන් දෙදෙනාට සවන් දෙන්නන් අතර වැඩියෙන්ම සිටින බව පෙනෙන්නේ, සාමාන්‍ය ජනතාවය. ජනතා ජන බලවේගය ලෙස බෞතීස්ම කරගත් ජ.වි.පෙ ට, සවන් දෙන්නට පැමිෙණන්නන් අතර, වැඩිපුරම සිටින බව පෙනෙන්නේ, මධ්‍යම පාංතිකයන්ය. පෙරමුණ ගෙන සිටින පක්ෂ දෙකේ කතා අසන්නට එන වැඩිදෙනා, ගෙන්වන ලද අය බව පෙනේ. ජා.ජන බලවේග රැස්වීම්වලට පැමිණෙන්නන්, ඒවායේ කෙරෙන කතා මනාව අසමින්, වටහා ගන්නා බවක් පෙනේ. පෙරමුණේ රාළලාගේ රැස්වීම්වලට ගෙන්වන ලද වැඩිදෙනා වේදිකාව දෙස බලා සිටිනු පෙනේ. ඔවුන් යමක් වටහා ගන්නවාට වඩා, ඇසෙන ඇසෙන වාක්‍යයක් වාක්‍යයක් අග, ඉවබව නැතිව ඇඟපත සොලවා නටමින්, අත්පොළසන් ගසමින් බෙරිහන් දෙති. ඒ දෙපරංශය අනෙකක් නොවේ. සමාජ කොට්ඨාස දෙකක දැන උගත්කමේ තරමය. රටක හැම මැතිවරණාසන්න කාලයක්ම, එරට වැසියන්ගේ දේශපාලන දැනුම වඩන අධ්‍යාපනික වකවානු විය යුතු බවට, අපේ පෙර ලිපියක වූ සඳහන ගැන අවධානය යොමුකළ මෙරට උගත් යතිවරයකු, අප අමතා මෙසේ පැවසීය. " එහෙම වෙන්නෙ මහත්තය, දියුණු මනසක් හා දුර දැක්මක් ඇති දේශපාලකයන් ඉන්න  රටවල " ජනාධිපති තරගයට ඉදිරිපත්ව සිටින කිසිම කෙනෙක් " ම විසින් ඔබ වෙනුවෙන් රටට කරනු ලැබිය යුත්තේ මොනවාදැයි"  සිය රැස්වීම්වල සිටින්නන්ගෙන් විමසන්නේ නැත. ප්‍රවෘත්ති සාකච්ඡාවක දී, මාධ්‍යවේදියකු ඒ ඇයිදැයි ඇසුවොත්, අපේක්ෂකයන්ට සිදුවන්නේ, තටම තටමා, තක්කු මුක්කු වන්නටය. රටේ දේශපාලකයන්, උසස් මනස් ඇති, දුරදර්ශී   අය කරගැනීමේ වගකීමක් රැටියනට තිබේ. රට දුප්පත්කමේ විපතින් මිදුන, යහපත් හා ආරක්ෂිත රටක් කර ගන්නටය. ශ්‍රී ලංකාවේ දුප්පත්කමේ විපතින් පීඩිත අධිකම ජන කොටස වෙසෙන්නේ, ගම්බදය. වාර්ෂිකව නිකුත් කරන මහ බැංකු වාර්තා අනුව මෙ රට ජනගහනයෙන් 80% දුප්පතුන්ය. එයින් ද විශාල කොටසක් ගිලී සිටින්නේ දරිද්‍රතාවයේය. නිදහස ලබද්දී අපේ රට තිබුණේ, ආසියාවේ දියුණුම රට යන තැන බව පැරැන්නන් පැවසුවත්, නවසිය අනූවෙන් හා දෙදාහෙන් පසු උපන්, අද ගැමි තරුණයන්, ඒ බව කිසිසේත් විශ්වාස කරන්නේ නැත. ඉදිරි ජනපතිවරණයෙන් ජය ගනු ලබන්නා, දූරදර්ශී කරවීම සඳහා පෙන්වා දිය යුතු කාරණයක් තිබේ. ඔහුට වැඩියෙන්ම ඡන්ද දුන්, රටේ ග්‍රාමීය ජනතාව, ජීවිත දුක් කන්දරාවලින් මුදා ගන්නට ඔහු මුල්තැන දියයුතු බවය. ඔහු බෞද්ධය. ඔහුට ඡන්ද දෙන අධිකම ජන කොටස ද ග්‍රාමීය බෞද්ධ ජනතාවය. මේ රටේ අධිකවම නැතිබැරිකමේ දුකෙන් පෙළෙන්නෝ ද ඔවුහුය. රටේ වැඩිපුරම ඡන්ද ඇත්තේ ද ඔවුනතය. මඩිහේ පඤ්ඤාසීහ මහ නා හිමි, රටේ බෞද්ධ ජනතාවගේ ආර්ථිකය තේරුම් ගෙන, ගම හදා රට නගමු..යන දැක්ම රටට දුන්නා අපට මතකය. ඊට පෙර, හීනටියන ධම්මාලෝක නාහිමි, රටට ග්‍රාමසංවර්ධන ව්‍යාපාරය හඳුන්වා දුන්නා අපට මතකය. කුලියාපිටියේ කනතොලුව ගම්මානය, සංවර්ධනය කිරීමට මුලපුරමින්,  ඒ.ටී.ආරියරත්න ගුරු මහතා, රටේ උසස් පාසල්වල උගනින, පහසුකම් ඇති බෞද්ධ පවුල්වල දරුවන්ට, රටේ දුගී බෞද්ධ දරුවන් දුගීකමෙන් මුදා ගැනීමේ වගකීම, පහදා දෙන්නට දැරූ වෑයම ද අපට මතකය. සිරිල් පීරිස් නම් කොළඹ කතෝලික පියනමක්, වත්තල සිට මීගොමුව දක්වා වූ මුහුදුබඩ ප්‍රදේශයේ.. විශේෂයෙන් මුතුරාජවෙල ආශ්‍රිතව, කිතුනු ගම් නගන කෘෂිකර්ම ව්‍යාපාරයක් ඇරඹුවා අපට මතකය. ඒ සමයේ ගම්පහ දිස්ත්‍රික්කයේ මුහුදුබඩ ජනයා, එතුමා හැඳින්වූයේ, මුතුරාජවෙල මුනිවරයා ලෙස ය. ආරියරත්න මහතා හැර, අන් සංවිධාන තුනටම මුලපිරුවේ ආගමික පැවිද්දන්ය. ඔවුන්ගෙන් දෙවන පෙළ නායකත්ව බිහිවූයේ නැත. ඔවුන් දරුවන් ලද ගිහියන් නොවීම ද ඊට හේතුවක් විය! එහෙත්, ඒ පූර්වාදර්ශ රටේ තවමත් තිබේ. ඒ වෑයම් අදටත් වටින්නේය. ඊළඟ ජනපතිත්, රටේ නාගරිකය කොන්ක්‍රීට්වලින් සංවර්ධනය කිරීමට මුල්තැන දෙන කෙනකු වුවහොත්...රටට  සිදුවන්නේ, යළි කෙසේවත් හිස එසැවිය නොහැකි ලෙස, ආර්ථික හා දේශපාලන ගොහොරුවේ ගිලී, ඉඳුරාම විනාශ වන්නටය. මැතිවරණයක දී පාවිච්චි කෙරෙන විශාලම  ඡන්ද සංඛ්‍යාව ඇත්තේ ගම්බදය.මෙතෙක් සිදුවූයේ ඒ ගැමි දුප්පතුන්ගේ ඡන්ද ලැබ රාජ්‍ය බලයට පත්වූවන්, ඉතා ඉක්මනින් ගම්මුන් අමතක කර, රටේ නාගරික ජනතාවට, ඕනෑවටත් වඩා ඉඳුම් හිටුම් හා, සැප පහසුකම් සැලසීමය. ඒ විෂම සම්ප්‍රදාය, ඊළඟ ජනපති, රටෙන් දුරින් දුරු කළ යුතුමය. රටේ වැඩිම භූමි ප්‍රමාණය ඇත්තේ ගම්බදය. ඒ වැඩිම භූමි ප්‍රමාණය කෘෂිකාර්මිකය. රටේ ප්‍රධාන ගංගා ගලා බසින්නේ ඒ කෘෂි බිම් හරහාය. ඒ බිම්වල පදිංචිව සිටින්නන්ගේ ජීවන වෘත්තිය ගොවිතැනය. අවුරුදු සිය ගණනකට පෙර, ඒ ග්‍රාමීය භූමි වගා කළ ගොවීන්, රටට දුන් ස්වර්ණමය කීර්තිනාමයක් තිබේ. " පෙරදිග ධාන්‍යාගාරය" යන්නය. ඒ තත්ත්වය ඔවුන් රටට දුන්නේ කලට වැසි අහස් දියෙනි. තමන්ම සකසා ගත් පොහොර භාවිතයෙනි. ස්වදේශීය ගොවි උපකරණ හා ගව මහීෂයන් ගෙනි. සිය සාමුහික ප්‍රයත්නයෙනි. අත්තම් ක්‍රමයෙනි. ඒ ගම දැන් මේ රටේ නැත. නැවත ඇති කළ යුතුව තිබේ. වගකීම පැවරෙන්නේ ඊළඟ ජනපතිට ය. අද රටට හැමදා නියං ය. අනපේක්ෂිත ගංවතුරය. පේරාදෙණිය විශ්ව විද්‍යාලය 2002 -2004 සමයේ,  කළ අධ්‍යයනයකින් හෙළිව තිබුණේ, ශ්‍රී ලංකාවේ තෙත් කලාපය හැකිලෙමින්, වියළි කලාපය ප්‍රසාරණය වෙමින් පවතින බවය. (මහාචාර්ය සී.එම්. මද්දුමබණ්ඩාර හා  මහාචාර්ය පී. වික්‍රමගේ ප්‍රමුඛව කළ) නුවරඑළියේ පවා, වර්ෂාපතනයේ අඩුවෙමින් පවතින බවත්, රජරට, වන්නිය,වෙල්ලස්ස, හා රුහුණු මාගම් පත්තුවේ පවා උෂ්ණත්වය ඉහළ යමින් ඇති බවත් ඉන් අනාවරණය කෙරුණි. ඒ විපත්ති දෙකෙන් උවදුරට පත්වන්නේ ද, මේ රටේ ගම්මානය. ගොවියන්ය. ගැමි ගොවියන්ය. අනපේක්ෂිත ගංවතුර හා ඉඩෝරය බලපාන්නේ වී නිෂ්පාදනයට පමණක් නොවේ. පොල් හා යටි වගාවන් ද ඒ නිසා දුබල වේ. ඒ සමග ගැමි ජනතාව මුහුණ දෙන තවත් ආපදාවක් තිබේ. බීමට සුදුසු ජලය නැතිකමය. හම්බන්තොට, අනුරාධපුරය, පොළොන්නරුව, පුත්තලම, කුරුණෑගල, බදුල්ල, මොනරාගල, වව්නියාව, මන්නාරම හා තිරිකුණාමලය, වාර්ෂිකව වැඩියෙන්ම නියඟයට බිලි වෙන දිස්ත්‍රික් බව, සමාජසේවා දෙපාර්තමේන්තු වාර්තා පවසයි. ඒ ප්‍රදේශවල ගොවීන්ට අමතරව කෘෂිකාර්මික කම්කරුවන් ද සිටී. හෙළ රජ දවස සිට පැවති මනා ජල කළමනාකරණය, පුරාණ අපේ රට පෙරදිග ධාන්‍යාගාරය වීමට එක් ප්‍රධාන හේතුවක් වූ බව, ඉතිහාස පොත් අපට කියා සිටින්නේය. දෙවන ප්‍රධාන හේතුව, එදා රට්ටුන්, ආගමික, භාෂා හෝ දේශපාලන ගැටවලට හසුව බෙදී නො සිටීමය. අද! රට යළි ඒ තත්ත්වයට ගෙන යා හැක්කේ, කුමන ජනාධිපති අපේක්ෂකයාට ද? අප මේ පෙන්වා දුන්නේ, මෙ රට පත්වැති විපතින් ගලවා ගන්නට ඊළඟ ජනපති හනික මුල්තැන දිය යුතු එක් ක්‍රියාමාර්ගයකි. රට ආර්ථිකව නැගී සිටියේ කෘෂිකර්මයේ අනුහසිනි. රට විපතට පත්වීමට ප්‍රධාන හේතුව ගම්මුන් කෘෂිකර්මයෙන් ඈත් වීමය. රට යළි පෙර සෞභාග්‍යයට පිවිසිය යුත්තේ ද ඒ ළිං කටෙනි. අපේ ඊළඟ ජනපතිට පෙන්වා දිය යුතු තවත් කාරණයක් තිබේ. කෙටි කලක් රටේ වෙළෙඳ ඇමැති ධුරය දැරූ ලලිත් ඇතුළත්මුදලි, 'ගොවි අපනයන ගම්මාන' ක්‍රමයක් රටට හඳුන්වා දුන්නේය. එය ග්‍රාමීය ගොවි දරුවන් කැරළිකාරත්වයෙන් මුදවන හා ග්‍රාමීය සේවා වියුක්තිය දුරු කරන ක්‍රමයක්  විය. ගොවි දුප්පත්කම උඩුයටිකුරු කරන ක්‍රමයක් ද විය. රට්ටු එතුමා මරා ගත්හ. ඒ සමග, ඵබඳු මහරු ආර්ථික වෑයම් දුර්වල කර දැමුණි. එබඳු මිනිසුන් දේශපාලනයෙන් ඈත්වුණි. කලකට පසු තවත් වෙළෙඳ ඇමැතියෙක් ආවේය. ඔහු, එකක් රුපියල් දසදහසක් වූ ඉන්දීය දුරකථන ලක්ෂයක් ආනයනය කර වෙළෙඳපොළට සැපයීය. විශ්වවිද්‍යාලවලට එන ග්‍රාමීය දුගී සිසුන් සඳහා මහපොළ දීමනා ක්‍රමය ඇරඹුවේ ද පෙර කී ලලිත් ඇතුළත්මුදලිය. අපේ ඊළඟ ජනපති, තමා භාර ගන්නා රට ගලවා ගන්නට අනුගමනය කරන්නේ ඒ දෙදෙනාගෙන් කවුරුන්ගේ ආදර්ශය ද? රට දැන ගැනීමට කැමති වෙනු ඇත. සිරිල් එඬේරමුල්ල
 

More News..