brand logo

ඊළඟ ඡන්දයට මාතලෙන් කොල්ලෙක්

15 July 2019

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පසුගිය සෙනසුරාදා උදේ හදිසියේම දඹුල්ලට ගියේ එදින සවස රංගිරි දඹුලු විහාරයේ උත්සවයකට තිබුණු ආරාධනාව පැහැර හරින්නට බැරිකමට ය. ‘‘අනේ හාමුදුරුවනේ, උත්සවය තියන වෙලාවට නං එන්න වෙන්නේ නෑ... මගහරින්නම බැරි වෙන වැඩක් වැටිලා තියනවා... ඒකයි මම මේ තකහනියක් උදේ ආවෙ...’’ මහින්ද දඹුල්ලේ ලොකු හාමුදුරුවන්ට කීවේය. කෙසේවෙතත් සවස පැවැත්විය යුතු වූ එම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ය. මහින්ද උදේ ම දඹුල්ල විහාරයට ආ බව දැනගත්, ලක්ෂ්මන් වසන්ත ද එදා උදේ ‘දඩිබිඩියේ’ ම දඹුලු ගල නැග්ගේ ය. ‘‘සර් ආපු ආරංචියට මම මේ දුවගෙන ආවේ...’’ ලක්ෂ්මන් වසන්ත මහින්දට කීවේ ය. ‘‘අයියෝ ඇයි ඉතිං ආවෙ... ඔයා එන්න තිබුණෙ හවස ජනාධිපතිතුමා එන වෙලාවටනෙ...’’ මහින්ද ලක්ෂ්මන්ට කීවේ, ලක්ෂ්මන්ගේ පැමිණීම හෑල්ලුවට ලක්කරමිනි. ‘‘අනේ එහෙම කියන්න එපා සර්...’’ ලක්ෂ්මන් ද මඳක් පැකිළුණු නමුත්, ඉදිරි මැතිවරණ වලදී ‘මහින්දට මාතලේ ඡන්ද අරන් දෙන්නට හැකි බව...’කියමින් ඉඟි බඟි පාන්නට විය. මහින්ද ‘‘ඒ ගැන කලබල වෙන්න එපා වසන්ත... අපි මාතලේට හොඳ කොල්ලෙක් හදල තියෙන්නෙ...’’ යි කියමින්, අසල සිටි ‘ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්’ව පෙන්වා තිබේ. කෙසේවෙතත්, මේ කතාවෙන් වඩාත් ලජ්ජාවට පත් වූ වසන්ත ඊට ටික වේලාවකට පසුව හිමින් සීරුවේ ම දඹුලු ගල දිගේ ‘ලිස්සා ගොස්’ තිබේ. ඊට ටික වේලාවකට පසුව දඹුලු විහාරයෙන් නික්මුණු මහින්ද කෙළින්ම ගියේ ජනක බණ්ඩාර තෙන්නකෝන්ගේ නිවසට ය. ඒ වන විටත් ජනකගේ බිරිඳ ලසිතා ‘කිරිඅඟුණ මැල්ලුමකුත්’ සාදාගෙන මග බලාගෙන සිටියා ය. සාමාන්‍යයෙන් මහින්ද ජනකගේ ගෙදර ගියොත් නොවරදවාම ලසිතා සාදා දෙන ‘කිරිඅඟුණ මැල්ලුමේ’ රස බලන්නේ ය.
 

More News..