brand logo

ඊළඟ ආණ්ඩුවේ අගමැතිගේ භයානකකම ගැන ඇමති කාංචන කිව්ව කතාව

16 January 2020

එදා අපි කිව්වා ගෝඨාභය මහත්තයා තමයි අපේ අපේක්ෂකයා. අපි ඉල්ලන්නේ පොහොට්ටුවෙන් කියල. සමහරු වෙන අයගේ නම් කිව්වා. අපි කිව්වා වෙන කවුරුවත් නෙවි ගෝඨාභය මහත්තයා තමයි ළකුණ පොහොට්ටුව කියල. අපි දැනුත් කියනවා ඉදිරි මහා මැතිවරණයේදී අපේ ළකුණ තමයි පොහොට්ටුව. ඒ ගැන කිසිම සැකයක් තියා ගන්න එපා. යැයි ධීවර හා කුඩා තේ වතු සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ගෝඨාභය ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කළ අකුරැස්ස මැතිවරණ බල ප්‍රදේශයේ අතුරලිය ප්‍රදේශයේ ජනතාවට ස්තුති කිරීම සඳහා 15 වැනි දින පැවැති රැස්වීමේ විශේෂ ආරාධිතයා ලෙස එක්වෙමිනි. තවදුරටත් අදහස් දැක්වූ හෙතෙම මෙසේද කීය , ජනාධිපතිවරණයේදී විශාල අභියෝග රාශියක් තිබුනා. ගෝඨාභය මහත්තයා ජනාධිපති වෙන්න ඕන කියල ශ්‍රීලංකා නිදහස් පාක්ෂිකයින්ගේ මතය තිබුනට , නායකයෝ ඒ මතයේ හිටියේ නැහැ. කීප දෙනෙක් හිටිය කකුලෙන් ඇදපු අය. සමහරු අපේ ඇතුලෙ ඉඳගෙන අනිත් පැත්තට උදව් කරපු අයත් හිටියා. උතුරු නැගෙනහිර ඊට වැඩිය ලොකු අභියෝගයක් තිබුනා. ඒ අභියෝගය අපි කලින් දැකපු නිසා 2015 ජනවාරි 09 වෙනිදා ඉඳල අපි අළුත් පක්ෂයක් හදල සංවිධාන කටයුතු කරගෙන ගියා. ඒ අභියෝග ජයගන්න අපි දකුණ පෙළ ගැස්සුවා. ඒ නිසා දිස්ත්‍රික්ක 22 න් 16 ක්ම ගෝටාභය මහත්තයා ජයග්‍රහණය කළා. මාතර දිස්ත්‍රික්කය 67.35% ක් ලබාගනිමින් ඒ දිස්ත්‍රික් අතරින් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබුවා. දැන් පාර්ලිමේන්තුවේ 225 න් අපේ පැත්තේ ඉන්නේ මන්ත්‍රීවරු 89 යි. කතානායක මැද ඉන්නව කිව්වට මේ කතානායකගේ කකුල් දෙකම ඒ පැත්තේ නිසා ඒ පැත්තේ 136 ක් ඉන්නවා. අපේ 89 ඇතුලේ ඉන්නවා හොඳට දුර පනින්න දක්ෂයෝ. ළඟ ළඟ පනින කට්ටිය ඉන්නවා. මේ 89 ගැනම සහතික දෙන්න බැහැ. අපිට 120 ක් පහසුවෙන් ගන්න පුළුවන්. නමුත් 120 න් 08 දෙනෙක් තීන්දු කළොත් රනිල්ගෙන් සජිත් ගෙන් හොඳ තනතුරක් ලැබේවි කියල ගියොත් මොකද වෙන්නේ. මේ තියෙන ව්‍යවස්ථාවේ හැටියට ඊළඟට පත්වෙන ආණ්ඩුවේ අගමැතිවරයා විධායක අගමැති කෙනෙක් ඒකයි භයානකකම. ජනාධිපතිතුමාට බලය දෙන්න පුළුවන් වෙන්නේ අපේම අගමැති කෙනෙක් පත්වුනොත් විතරයි. එහෙම වුනේ නැතිනම් ජනාධිපති පත්කරගන්න අපි කරපු කැපවීමෙන් වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා ඉදිරි මහා මැතිවරණයේදී මන්ත්‍රී සංඛ්‍යාව 150 ක් ලබාගන්නට අවශ්‍යයි. මේ රටේ බහුතර ජනතාව කතිරය ගැහුවේ රටක් තියෙන්න ඕන කියන මතයේ ඉඳගෙනයි. ඒ ගහපු කතිරෙට මාස දෙකක් ඇතුලේ වටිනාකමක් ලැබුනා. අපිට අභිමානයක් ගොඩනැගුනා. තරුණයන්ට අළුත් බලාපොරොත්තුවක් ලැබුනා. තාප්පවල ලස්සනට සිතුවම් අඳින්න , නගර අලංකරණය කරන්න , පුරන් කුඹුරු අස්වද්දන්න ජනාධිපතිතුමා කිව්වේ නැහැ. එවගේම ජනාධිපතිතුමා පෝස්ටර් , කටවුට් ගැහුවේ නැහැ. තරුණයෝ හිතුවා එහෙනම් වෙන කවුරුවත් පෝස්ටර් ගහන්නත් ඕන නැහැ කියල. එතුමා කිව්වා එතුමාගේ පින්තූර ගහන්න එපා කියල. අළුත් බලාපොරොත්තුවක් මේ රටට ඇවිල්ල තියෙනවා. දුන්න පොරොන්දු අකුරක් නෑර ඉෂ්ඨ කරනවා කිව්වා. ජනාධිපතිතුමාගේ කතාව ඇතුලේ තියෙන දේවල් තරුණයෝ එළියට ගත්තා. රජයේ ඉදිරි සංවර්ධන කටයුතු ගැන අදහස් දැක්වූ අමාත්‍යවරයා , අපිට වැඩකරන්න මාස දෙකක් තියෙනවා. තේ කර්මාන්ත , වැවිලි කර්මාන්ත විෂයය සහනාධාර ක්‍රමය නැතිවෙලා තියෙනවා. සහනාධාර 50% ක් ලබාදෙනවා. වතු සමාගම්වල හිස් ඉඩම් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ අය වැවිලි කටයුතු කරන්නේ නැතිනම් අපි ඒවා අක්කරය දෙක බැගින් බෙදා දෙමින් වගාකරන්න මුදල් සහ උපකරණත් ලබාදෙනවා. කෘෂි අපනයන බෝග 16 ක් වගා කරන්නට ලබාදෙන්නත් ඊට අවශ්‍ය පහසුකම් සහ ආධාර , නවීක තාක්ෂණය , සහ හොඳ මිළක් ලබාදෙනවා. විෂයය පිළිබඳව , අභ්‍යන්තරද බාහිරද , වයස පිළිබඳව ගැටළුවක් නැහැ. උපාධි සහතිකය තියෙන ඔක්කොටම රැකියා දෙනවා. සාමාන්‍ය පෙළ , උසස් පෙළ සමතුන්ට වගේම සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනුම ලැබූ අයටද රැකියා ලබාදෙනවා යැයි ද කීය. අකුරැස්ස - විජිත සල්ගාදු
 

More News..