brand logo

ඊළඟට පත්වෙන අපේ ආණ්ඩුවෙන් හොරු අල්ලනවා

07 July 2019

රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ ඇමැති රංජිත් මද්දුම බණ්ඩාරට පසුගියදා ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය ධුරයත් හිමිවිය. නව අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙනු ලැබූවද ඇමැතිවරයා තවම වැඩ භාරගෙන නැත. එසේ වැඩ භාර නොගැනීමට හේතුවූ කාරණා ගැනත් රටේ වත්මන් දේශපාලන තත්ත්වය ගැනත් ඇමැතිවරයා දරන්නේ මෙවැනි ස්ථාවරයකි. ග්‍රාමීය ආර්ථික සංවර්ධන කටයුතු ඇමැතිවරයා ලෙස දිවුරුම් දුන්නට තාම වැඩ භාරගත්තෙ නැත්තේ ඇයි? මගේ විෂය පථයන් තවම ගැසට් කරලා නැහැ. විෂය පථයන් ගැසට් වෙන්නේ නැතුව මම කොහොමද වැඩ භාරගන්නේ. ජනාධිපතිවරයා කිව්වද ටික කාලෙකින් ඒ ප්‍රශ්නෙ විසඳලා දෙන්නම් කියලා? ගැසට් කරනකම් මම බලන් ඉන්නවා. ඔබ වැඩ භාර නොගැනීම නිසා මේ වනවිට ආර්ථික මධ්‍යස්ථානවල සියලු වැඩකටයුතු අඩපණවෙලා කළමනාකරුවන් සහ වෙළෙඳුන් අතර ගැටුම් හටගෙන තිබෙනවද? මේ ගැන සොයා බලා අවශ්‍ය වැඩකටයුතු කරන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට මම දැනුම් දුන්නා. ඒ වගේම ආර්ථික මධ්‍යස්ථානවල මෙම ගැටලු ගැන කතා කරන්න ලබන සතියේ සාකච්ඡාවක් කැඳවන්නත් බලාපොරොත්තු වෙනවා. මේ ප්‍රශ්න අස්සේ ජනාධිපතිවරණයකුත් අත ළඟ එනවා. එජාපයේ තීරණය මොකක්ද? එක්සත් ජාතික පක්ෂයේ කෙනෙක්ම අපේක්ෂකයා විදිහට ඉදිරිපත් කරනවා. මංගල ඇමැතිවරයා කියනවා අපේක්ෂකත්වයට සජිත් සුදුසුයිලු. ජනාධිපතිවරයත් සජිත්ට කැමැතියි වගේ? ජනාධිපති අපේක්ෂකයා තෝරන්න තව කල් තියෙනවා. දැන්ම ජනාධිපති අපේක්ෂකයා තෝරලා පක්ෂයේ අර්බුද ඇති කර ගන්න අපි කැමැති නැහැ. තව මාස තුනයි තියෙන්නෙ? මාස තුනක් කියන්නේ දීර්ඝ කාලයක්. අපි සුදුසුම අපේක්ෂකයා ඉදිරිපත් කරනවා. හැම පක්ෂවලම ප්‍රශ්න තියෙනවා. 1989 වර්ෂයේ ප්‍රේමදාසයි, ලලිත් ඇතුලත් මුදලියි, ගාමිණී දිසානායකයි අතර සටනක් තිබුණා අන්තිමට රණසිංහ ප්‍රේමදාස අපේක්ෂක වුණා. අනිත් දෙන්නා ඔහුට වැඩ කළා. මහින්ද රාජපක්ෂට ජනාධිපති අපේක්ෂකත්වය දෙද්දිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලොකු ප්‍රශ්නයක් තිබුණා. ඒත් අවසානයේ මහින්ද රාජපක්ෂට අපේක්ෂකත්වය ලැබුණා. එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ නැති අය අපේක්ෂකයො කරල දැන් දෙපාරක්ම එජාපයට හානි කරගත්තා. මෙවර එක්සත් ජාතික පක්ෂයේම අයෙක් අපේක්ෂකයා කරනවා. ඒත් දැන්ම කල්වැඩියි ඒ ගැන කියන්න. පක්ෂයේ නොවන අය කිව්වෙ ජනාධිපතිවරයාටත් එක්ක වෙන්න ඕන. ඒත් ජනාධිපතිවරයා තමයි ඔබට එන්න කියලා අලුත් ඇමැතිකම දුන්නේ. ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. ජනාධිපති පත් කරන්න අපි ඡන්දය දීලා තිබෙනවා. එතුමා මට ඇමැතිකම දීලා තිබෙනවා. ඒක නෙමෙයි ප්‍රශ්නෙ. මම කියන්නේ හවුල් ආණ්ඩු නිසා එජාපයට හානියක් වූ බවයි. පක්ෂයට හානියක් නොවෙන්නයි අපි කටයුතු කරන්න ඕන. ජනාධිපතිගෙයි අපෙයි ප්‍රශ්නයක් නෙමෙයි මෙතන තිබෙන්නේ. ඔබ කියන්නේ තීන්දු තීරණ ගැනීමේදී හවුල අවුලක් වන බවයි මම කියන්නේ එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ මතය. එජාප ආණ්ඩුවක් ගෙනල්ලා අනිත් අයගේ මතය ශක්තිමත් කරන එක නෙමෙයිනෙ කරන්න ඕන. එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කරල රට හදන එකයි වෙන්න ඕන. මේ හවුලෙන් එජාප පාක්ෂිකයන්ට විශාල හානියක් වූ බව අපි පිළිගන්න ඕන. ඒ කියන්නේ හවුල් ආණ්ඩුව අසාර්ථක වුණා. ඔව්. අසාර්ථකයි. මෙවර ඇමැතිකම ලැබෙනකොට අගමැතිවරයා ඒ බව දැන සිටියාද? අගමැතිවරයා තමයි මගේ නම යෝජනා කරලා යැව්වෙ. ඒක තමයි ව්‍යවස්ථාපිත ක්‍රමය. පසුව ජනාධිපතිවරයා මට එන්න කියලා දිවුරුම් දුන්නා. ජනාධිපතියි අගමැතියි දෙන්නම කැමැත්තෙන් නව ඇමැතිකම දුන්න නම් විෂය පථය ගැසට් කරන එක පමාවෙන්නෙ ඇයි? ඒ ගැන මම කිසිවක් කියන්න යන්නේ නැහැ. මොන පාර්ශ්වයෙන්ද මේ කකුලෙන් ඇදීම කරන්නෙ? මම ඒ ගැන මොකුත්ම කියන්න කැමැති නැහැ. ජනාධිපතිවරයාට කියල බැලුවේ නැද්ද? කියන්න ඕන ඔක්කෝටම කිව්වා. ඔබ එජාපය ඇතුළේ සිට එජාපයේ ප්‍රශ්න සම්බන්ධයෙන් ප්‍රබල හඬක් නගපු චරිතයක්. ඒත් ඇමැතිකම් ලැබුණට පස්සේ දැන් කට වැහිලා වගෙයි පේන්නෙ? නෑ. නෑ. නෑ. කට වහලා නෙවෙයි. ඕන වෙලාවට කට ඇරෙයි. මොකද හැම වෙලාවෙම කට අරින්නත් හොඳ නෑනේ. දැන් අපි කතා කරනවා නෙවෙයි වැඩ කරනවා. ඔබට තිබුණු නීතිය හා සාමය අමාත්‍යාංශයට මොකද වුණේ ඒ අමාත්‍යාංශය මට දෙන්න කියලා අගමැතිවරයා යෝජනා කර තිබුණත් ජනාධිපතිවරයා එය නොදෙන්නේ ඇයිද කියන්න මා දන්නේ නැහැ. ජනාධිපතිවරයා ඔබට අකැමැත්තක් දක්වනවද? එතුමා මට අකැමැති නැහැ. ඒත් ඒ ඇමැතිකම එතුමා ළඟ තියා ගන්න කැමැති ඇති. පොදු අපේක්ෂකයා විදිහට මෛත්‍රීපාල සිරිසේන නැවත ඉදිරිපත් කරන්න එජාපය තීරණයක් ගත්තොත්? මම හිතන්නෙ එජාපය තවම එහෙම තීරණයක් අරන් නැහැ. අපේ තීරණය එජාපයේම කෙනෙක් ගෙන ඒමයි. එහෙම ඉදිරිපත් කරන්න එජාපයේ ඉන්න වඩා හොඳ කෙනා කවුද? නැහැ මම දැන්ම කියන්නෙ නැහැ. රනිල් සහ සජිත් දෙදෙනා යෝජනා වුණොත් ඔබ බර තියන්නේ මොන පැත්තටද? ඒක එදාට තීරණය කරමු. දැනට නම් තුනක් ඉදිරිපත් වෙලා තිබෙනවනේ. රනිල්, කරු, සජිත් සුදුසුම කෙනා තේරෙයි. ඇයි රාජිත ඇමැතිවරයත් කැමැතිලු ඉල්ලන්න? තවත් කැමැති අය ඇති. මට පේන්නේ ඔබ තවමත් සජිත් පිලේ? මම එක්සත් ජාතික පක්ෂ පිලේ කෙනෙක්. ඉස්සර වගේ නෙමෙයි දැන් බොහෝම පරිස්සමෙන් කතා කරන්නේ නේද? දැන් අපිට වයසයිනේ. ගෝඨාභය ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වුණොත් එජාපයට ලේසි වෙන්නේ නැහැ? මේ රටේ කිසිවෙක් කැමැති නැහැ. ඒකාධිපතියෙක් රටේ නායකයා වෙනවට. යුද්දෙට දක්ෂ වෙන්න පුළුවන්. ඒත් රට හදන්න බැහැ. ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමථ. එහෙමනේ කියන්නේ. ඒත් මෙයා එකකාලෙකදි යුද්දෙ වෙලාවේ රටෙන් පැනලා ඇමෙරිකාවට ගිහින් ආපසු ආවේ සෑහෙන කාලෙකට පස්සේ. එජාපයේ ඡන්ද සටනේදී බදුර්දීන්ලවත් එකතු කර ගන්නවද? ඒ අයගේ ඇතැම් ක්‍රියාකාරකම් පොදු ජනතාවගේ දැඩි දෝෂදර්ශනයකට ලක් වෙනවා ? ඒ දෝෂය එල්ල වෙන්නේ පොහොට්ටුවේ අයගෙන්නේ. චෝදනා එල්ල වූ පලියට පුද්ගලයෙක් වැරැදිකරුවෙක් වෙන්නේ නැහැ. ඔය මහින්දට ගෝඨාභයටත් චෝදනා තිබෙනවනේ. ඇයි ඒ ගොල්ලෝ ගැන කතා කරන්නේ නැත්තේ. යමෙකුගේ චෝදනා ඔප්පු වී තිබෙනවා නම් අපි ඔවුන් සමග දේශපාලන කටයුතු කරන්නේ නැහැ. රිෂාඩ්ට ඔයතරම් විරුද්ධ නම් ඇයි පසුගිය කාලේ ආණ්ඩුව පිහිටුවන්න එයාට කතා කළේ. මොන කාලෙද? දින පනස් දෙකේ ආණ්ඩුව කාලේ විශ්වාසයෙන්ද ඔබ කියන්නෙ? ඔව් කතා කළා. මොනරාගල දිස්ත්‍රික්කයේ යොවුන් සේනාංකය සඳහා ලක්ෂ දෙදහසක් වෙන් කිරීමට ඔබ කටයුතු කරනවා. මොනවද මේ මුදල්වලින් කරන්නේ? යොවුන් සේනාංකයේ ගොඩනැගිලි හැදුවා. ඒ ගොඩනැගිලිවලට අවශ්‍ය උපකරණත් දීලා තිබෙනවා. දැන් තරුණයන්ට අවශ්‍ය පාඨමාලා ඇරඹීමට කටයුතු කරමින් යනවා. මොනවගේ පාඨමාලාද පටන්ගන්නේ? අයි.ටී. වගේම කාර්මික පාඨමාලා තාක්ෂණික පාඨමාලා මේ සියල්ල අරඹනවා. යොවුන් සේනාංකයට ලක්ෂ දෙදාහක් වියදම් කරන ඔබ යන්න වැසිකිළියක් නැතුව ඉන්න මොනරාගල විසිපන්දහසක් පමණ වන ජනතාවට මොනවද කළේ? ඔය ලක්ෂ දෙදාහ වියදම් කළේ අගමැතිවරයාගේ ආර්ථික කටයුතු අමාත්‍යාංශයෙන් වැසිකිළි පහසුකම් නැති අයට ඒ පහසුකම් ලබාදීමේ කටයුතුත් දැන් සිදුකරගෙන යනවා. වැසිකිළි පහසුකම් නැති මෙපමණ පිරිසක් සිටියදී ඒ ගැන අවධානයට ලක් නොවුණේ ඇයි? ඒකෙන් පේන්නේ පසුගිය අවුරුදු විස්සක් තිස්සේ රට පාලනය කළ අය මොනරාගල දිස්ත්‍රික්කය දිහා අවධානය යොමු කරලා නැති බවයි. දැන් අපි ඒ සනීපාරක්ෂක පහසුකම් ලබා දෙනවා. මැතිවරණය ළං වෙනකොට ජනතාවට සහන දෙනවා. පඩි වැඩි කරනවා. ඡන්දය ඉලක්ක කරගෙන මේවා කළාට රජය ඉන්නේ බොහොම අමාරු මට්ටමක නේද? කිසිම ප්‍රශ්නයක් නැහැ. පසුගිය කාලයේ තිබුණු ආර්ථික අපහසුකම් සියල්ල විසඳගෙන ආර්ථිකය යම් ස්ථාවර මට්ටමකට ගෙනත් තිබෙනවා. ණයත් ගෙවාගෙන පඩිත් වෙලාවට ගෙවාගෙන යනවා. පසුගිය ආණ්ඩුව කාලේ රජයේ සේවකයන්ට වෙලාවට පඩිවත් ගෙව්වේ නැහැ. ඒ ගොල්ලෝ ණය වාරික ගෙව්වෙත් නැහැ. ඔබ ඔහොම කතා කළාට දක්ෂිණ අධිවේගය හදන්න චීන සමාගමට මාස දහයක් තිස්සේ මුදල් ගෙවලා නැහැ? ඕගොල්ලො මේ කතා කරන්නේ චීනෙට සල්ලි දෙන එක ගැනනේ. ඇයි රටේ මිනිස්සුන්ට සල්ලි දෙන එක ගැන කතා නොකරන්නේ. රටේ අහිංසක මිනිස්සුන්ට සල්ලි දෙන කොට එපා කියන අය චීනෙට සල්ලි දෙන්න කතා කරනවා. ඕගොල්ලො ඇයි මේ චීන සමාගම් වෙනුවෙන් පෙනී ඉන්නේ. චීන සමාගම් වෙනුවෙන් පෙනී ඉන්නවා නොවෙයි, මේකෙන් දක්ෂිණ අධිවේගයේ ඉදිකිරීම් ප්‍රමාද වෙනවා? මෙම සැප්තැම්බරය වෙනකොට අපි ඒ ව්‍යාපෘතිය ඉවර කරනවා. පසුගිය ආණ්ඩුව කාලේ දේශීය කොන්ත්‍රාත්කරුවෝ කරපු ඒවට සල්ලි දුන්නෙත් අපේ ආණ්ඩුව ආවට පස්සෙයි. මාස දහය නෙවෙයි අවුරුදු දෙක තුන සල්ලි නොගෙවපුවා අපි ගෙව්වා. ඔබ එහෙම කිව්වට ආණ්ඩුව ඇතුළේ අර්බුද එළියට පේනවා. තෙල් නළ එළන්න ගියහම ඇමැති රවී ඒක නවත්වනවා. ඒ අවට මිනිසුන්ගේ නිවාස ලබාදීමට වෙන් කළ ලක්ෂ එකසිය හැත්තෑවක මුදලක් මුදල් අමාත්‍යාංශයෙන් මුදා හරින්නේ නැතිව රඳවාගෙන හිටියා. එක ඇමැතිවරයෙක් එකක් කියනවා. තව ඇමැතිවරයෙක් තව එකක් කියනවා. මොකද මේ අර්බුද? ඒක සාමාන්‍ය තත්ත්වයක්. ඒ නිසා තමයි මම කිව්වේ හවුල් ආණ්ඩු හරියන්නේ නැහැ කියලා. තවමත් සියයට හැටක් පමණ විදුලි බලය නිපදවන්නේ ඛනිජ තෙල් මගින් අධික වියදමක් දරලයි. කෝ මේවාට වියදම්? ජල විදුලි බලාගාරවල ජල මට්ටම පහත වැටීම නිසයි ඔය තත්ත්වය ඇතිවෙලා තියෙන්නේ. කොහොම වුණත් මේ රටට සූර්ය තාප විදුලිය හා ගල් අඟුරු විදුලියත් අවශ්‍යයි. අපි ස්වභාවික ගෑස් නිෂ්පාදනයටත් කටයුතු කරගෙන යනවා. අමතක කරන්න එපා මේ රටේ විදුලි බලාගාර හැදුවේ එක්සත් ජාතික පක්ෂය කියලා. කොහොම වුණත් මේ ප්‍රශ්න අතරේ ඉදිරි මැතිවරණයකින් ජයගන්න තරම් ශක්තියක් එජාපයට නැති බවයි පේන්නේ? නැහැ. අනිවාර්යයෙන්ම එජාපයට දිනන්න පුළුවන් ශක්තියක් තිබෙනවා. රටේ නීතිය, සාමය ස්ථාපිත වෙලා තිබෙනවා. ස්වාධීනත්වය ස්ථාපිත වෙලා තිබෙනවා. රට සංවර්ධනය කොට තිබෙනවා. එකම එක දෙයයි කරන්න බැරි වුණේ. ඒ හොරු අල්ලන එක. ඒකත් නීති රීතිවල යම් යම් ගැටලු නිසයි එහෙම වෙලා තියෙන්නේ. ලිපිගොනු සොයා ගැනීමේ ගැටලුවක් තිබෙනවා. නමුත් බොහෝ දෙනකුට නඩු පවරාගෙන යනවා. ඒත් ඔබගේ ආණ්ඩුව කාලෙ නම් ඕවා ඉටුවෙයි කියලා හිතන්න අමාරුයි. තව මාස තුනයිනේ? ඔව්. ඊළඟට පත්වෙන අපේ ආණ්ඩුවෙන් හොරු ටික අල්ලනවා. ඉන්ද්‍රජිත් සුභසිංහ
 

More News..