brand logo

ඊශ්‍රායලය කංසා සමුළු තියද්දී අපි තවමත් සංකාවෙන්

08 September 2019

පොලිසි ගාණේ උසාවි ගාණේ වේළුණ ශාකයකට, ලෝක මට්ටමේ පිළිගැනීමක් මේ දිනවල ලැබෙමින් පවති. පසුගියදා ඒ වෙනුවෙන්ම ලෝක සමුළුවන්ද පැවැත්විණි. මෙසේ ලෝක සමුළුවලට පවා යමින් සිටින අපේ පාරම්පරික ශාකයක් වන ගංජා ගහට (කංසා) තවමත් ඇත්තේ අමුතු සැලකිල්ලකි. ඒ සැලකිල්ල කොතෙක්ද යත් මෙහි නම කියනවාටත් බොහෝ දෙනා තවමත් බියය. ඒසේ බිය වන්නේ මෙහි ගත යුතු දේ මෙන්ම නොගත යුතු දේ ගැන නිවැරදිව වටහා නොගැනීමෙන් බවද පෙනෙන්නට තිබේ. ගංජා පැළෑටිය දේශීය ආයුර්වේදයේ සලකන්නේ ත්‍රෛ ලෝක විජය පත්‍රම් ලෙසිනි. මෙය මීට වසර 12,000කට පෙර චීනයේ අල්තායි කඳුවැටිය ආශ්‍රිත ගංගා නිම්න ප්‍රදේශයන්හි සාරවත් ශාකයක් ලෙස වැඩී තිබේ. ලෝක කෘෂිකර්මාන්තය ආරම්භයේදී කංසා ප්‍රධාන භෝගයක් වූ බවද කියැවේ. මෙය චීනයේ තිබූ ප්‍රධාන භෝග පහෙන් එකකි. ඉන්දියාවේ ප්‍රධාන භෝග තුනෙන් එකක් වන්නේද කංසායි. ඒ පිළිබඳ අතීත තොරතුරු සොයා යද්දී පර්සියාව, අරාබිය, ග්‍රීසිය, රෝමය ආදී රටවලින් තොරතුරු ඒ ගැන හමුවේ. අපේ ආයුර්වේද ක්ෂේත්‍රය ගත් විටද වසර 3500ක පමණ ඉතිහාසයක් මෙයට තිබේ. එහි පුරාතන ග්‍රන්ථවල සඳහන් වන්නේ ඖෂධ නිෂ්පාදනය සඳහා කංසා භාවිත කර ඇති බවය. කංසා යනු භයානක මත්ද්‍රව්‍යයක් බව බොහෝ දෙනා සිතති. නමුත් ආයුර්වේදයේ භාවිත කරන ප්‍රධාන පෙළේ ඖෂධ වර්ග 30ක් පමණ නිෂ්පාදනය කිරීමට කංසා භාවිත කරයි. විවිධ රෝගාබාධ සඳහා නියමිත මාත්‍රාවෙන් රෝගියාට කංසා ලබාදීම එහිදී සිදුවේ. කංසා ඇටවලින් තෙල් හා පිටි සෑදිය හැකිය. කඳේ, පොත්තේ, නූල්, ලණු, කඹ, රෙදි, කැන්වස්, පොම්ප්, ප්ලාස්ටික් නිර්මාණය කරයි. අරටුවෙන් කඩදාසි, චීප් බෝඩ් වර්ගයේ ලෑලි, කොම්පෝස්ට් පොහොර සෑදිය හැකිය. කංසා මුලද හොඳ ඖෂධයකි. මල් පිපුණ කරටිවල ඇති මැලියම්වලින් ඖෂධ, හෂිස්, චරස් ආදිය සාදාගන්නා අතර, මල් සහ පත්‍රවලින් බීම වර්ග, විවිධ රසකැවිලි සදා ගැනීමට හැකියාව තිබේ. ගංජා භාවිතයේ නිෂ්පාදනය කරන ආයුර්වේද ඖෂධ වසර දහස් ගණනක් පැරණිය. යටත්විජිත පාලනයත් සමග ඉංග්‍රීසින් විසින් ගංජා සහ අංගම්පොර සටන් කලාව ශ්‍රී ලංකාව තුළ තහනම් කරන ලද්දේ එය ඉංග්‍රීසින්ට තර්ජනයක් ලෙස සිතූ බැවිනි. ගංජා ශක්තිජනක ඖෂධයක් වුවද ලාංකිකයන්ගේ හැසිරීම, සටන් කලාව තමන්ට තර්ජනයක් බව සිතූ ඉංග්‍රිසින් ඊට උපක්‍රමයක් යෙදීය. ඒ දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන සහ මත්පැන් ශ්‍රී ලාංකිකයන්ට හඳුන්වා දෙමිනි. ඇමෙරිකා එක්සත් ජනපදය කංසා නීතිවිරෝධී බව කීවේ 1930 ගණන්වල සිටය. එහිදී තමන් සතු සියලුම ප්‍රචාරණ මාධ්‍ය ප්‍රයෝජනයට ගනිමින් කංසාවල ප්‍රතිරූපය නැති කළේය. එය භයානක මත්ද්‍රව්‍යයක් පමණක් වන මතය පැතිරූ ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයද භාවිත කරමින් කංසා භාවිතය තහනම් කළේය. එසේ තහනමට ලක් කළ කංසා තුළ විවිධ රසායනික වර්ග 365ක් පමණ ඇතැයි පර් යේෂණවලින් ඔප්පු කර තිබේ. ශ්‍රී ලංකාව තුළ ඉංග්‍රීසි ජාතිකයන්ට දුම්කොළ ව්‍යාප්ත කිරීමේදී ගංජා ප්‍රබල තර්ජනයක් වී තිබුණි. වසර ගණනාවක් ඖෂධයක් ලෙස භාවිත කළ ගංජා තහනම් කිරීම නිසා බාධා ඇතිවූයේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයන්ටය. අද වන විට ආයුර්වේද ​වෛද්‍ය නිගමනය තුළ කංසා අත්‍යවශ්‍ය සාධකයක් වී තිබේ. විවිධාකාර රෝගාබාධ තුරන් කිරීම සඳහා කංසා ඖෂධයක් ලෙස භාවිත කිරීමේ නව ප්‍රවණතාවක් ලොව පුරා ව්‍යාප්තව තිබීමද විශේෂයකි. යල් පැන ගිය අදහස්වලින් තොරව විවෘතව මේ පිළිබඳව කතා කළ යුතු බව බොහෝදෙනාගේ අදහස වී තිබේ. ඖෂධයක් ලෙස භාවිත කිරීමේ වැදගත්කම පිළිබඳව එහිදී අවධානය යොමු කිරීම වැදගත්ය. චීනය විසින් සොයාගත් කංසා සේද මාවත දිගේ පැමිණ දකුණු ආසියාව, යුරෝපය දක්වා අද වන විට ව්‍යාප්ත වී තිබේ. කංසා භාවිත කරමින් චීනය තෙල් නිෂ්පාදනය කරති. විවිධ නිර්මාණ සිදු කරයි. ප්‍රංශයද කංසා තෙල් නිෂ්පාදනය කරයි. ශ්‍රී ලංකා වෙළෙඳපොළ තුළ කංසා තෙල් ආනයනය කර අලෙවි කිරීමට ආයුර්වේද දෙපාර්තමේන්තුව මේ වන විට අනුමැතිය ලබාදී තිබේ. යුරෝපීය රටවල් විසින් තෙල් සායම්, වාෂ්පශීලී දියර, වාර්නිෂ්, සබන්, සුවඳ විලවුන්, මුද්‍රණ තීන්ත නිෂ්පාදනය කරන්නේ කංසා භාවිත කරමිනි. ඇමෙරිකා එක්සත් ජනපදය කංසා නීතිගත කරන බවට එක් කලෙක මැතිවරණ පො​රොන්දුවක්ද ලබා දී තිබේ. කංසා තෙල් භාවිත කරමින් සමෙහි සංකූලතා තුරන් කළ හැකිය. විශිෂ්ට ශාකයක් වන කංසා අවභාවිත කිරීම නතර කිරීම රජයේ වගකීම වුවද ඇතැම් බටහිර වෛද්‍යවරුන් කංසා පිළිබඳ දුර්මත ඉදිරිපත් කරන බව ආයුර්වේද වෛද්‍යවරුන් පවසති. කංසා ශාකය පිළිබඳව ලෝකයේ රටවල් රැසක් පර් යේෂණ සිදුකර ඇත. මෙම ශාකයේ ඇති ‘ඇල්සයිම’ මොළයේ සෛල විනාශ වීම වැළැක්වීම සඳහා භාවිත කළ හැකි ප්‍රතිකාරයකි. චර්ම රෝග මෙන්ම අත්බෙහෙත් සඳහාද කංසා භාවිත කරයි. උදාහරණයක් ලෙස ඈත අතීතයේ උදරාබාධයක් ඇතිවූ විට කංසා ලබාදෙයි. මස් පිසීම සඳහා රසකාරකයක්, විෂබීජ නාශකයක් ලෙස කංසා භාවිත කිරීම පුරාතණයේ සිට පැවත ආ දෙයකි. කංසා භාවිත කළ විට සිතෙහි ඒකාග්‍රතාවක් ඇතිවේ. සිත එක අරමුණක තබාගෙන කටයුතු කළ හැකි වෙයි. කංසා භාවිත කළ පුද්ගලයන් මියගොස් නැත. එහි අතුරු ආබාධද නොමැත. ආයුර්වේදයට අනුව අර්ශස්, ශ්වාස. කාස රෝග සමනය කරනා ඖෂධයකි. අතිසාරයට ප්‍රතිකාර කිරීමටත්, මාස් ශුද්ධි වේදනාව සමනය කිරීමටත්, ලිංගික ශක්තිය වැඩි කිරීමටත් කංසාවලට හැකියාව ඇති බව ආයුර්වේදයේ දැක්වේ. කංසා ලෝක ව්‍යාප්තිය දෙස බැලීමේදී සංවර්ධිත රටවල් දක්වන්නේ ලිහිල් ප්‍රතිපත්තියකි. මේ වන විට කොලොම්බියාව, කැනඩාව, උරුගුව, ස්පාඤ්ඤය, පෘතුගාලය, රුමේනියාව. ඇමෙරිකාවේ ඇතැම් ප්‍රාන්තවල කංසා භාවිතය නීත්‍යනුකූල කර ඇත. ප්‍රංශය, ඉන්දියාව, ඩෙන්මාර්කය, ජර්මනිය. රුසියාව, කොරියාව වැනි රටවල් කංසා පිළිබඳව අදත් පර් යේෂණ පවත්වති. නෙදර්ලන්තය කංසා නීතිගත කළ රටකි. ටොෆි, චොක්ලට් කංසා භාවිත කරමින් නිෂ්පාදනය කරයි. පසුගිය මාස කිහිපය තුළදී වියට්නාමයද කංසා නීතිගත කරන ලද්දේය. හ්‍රී ලංකාවේ පරිසරය තුළ කංසා කිසිදු වියදමකින් තොරව සරුවට වගා කළ හැකිය. ශ්‍රී ලංකාවේ කංසාවලට ලොව පුරා ඇත්තේ විශාල ඉල්ලුමකි. ඊශ්‍රායලය වැනි රටවල කංසා වගාකරුවන්ගේ සහ නිෂ්පාදකයන්ගේ සමුළු පවා පවත්වා වෙළෙඳපොළ ව්‍යාප්ත කර ඇත. වෛද්‍යමය වශයෙන් කංසා භාවිත කිරීම සුදුසු බවට පර් යේෂණ මගින් ඔප්පු කර තිබේ. කංසා සඳහා දැනටමත් හඳුනාගත් වෙළෙඳපොළක් ලොව තුළ නිර්මාණය වී ඇත. ඇල්කොහොල් භාවිත කරන පිරිසකගෙන් රිය අනතුරු, පවුල් ආරවුල්, ස්ත්‍රී දූෂණ, කොල්ලකෑම් සිදුවන බව පොලිස් වාර්තාවල සඳහන් වෙයි. ඇල්කොහොල් භාවිත කිරීමෙන් ඇතිවන සෞඛ්‍යමය ගැටලුද වැඩි වශයෙන් කතාබහට ලක්වෙයි. නමුත් කංසා භාවිත කිරීමෙන් මෙවැනි ගැටලු ඇති​නොවන බව ආයුර්වේද වෛද්‍යවරුන්ගේ මතයයි. ශ්‍රී ලංකාවේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සඳහා අවශ්‍ය නියම කංසා ලබාගැනීමේ හැකියාවක් නොමැත. අධිකරණ නියෝග මත ලබාදෙන කංසා ආයුර්වේද ඖෂධ සංස්ථාව හරහා ආයුර්වේද වෛද්‍යවරුන්ට ලැබෙයි. ඒ කුඩු වශයෙනි. කංසා පැළෑටියක් ලෙස ලැබිය යුතුයි. එවිට ඖෂධීය සාරය නිසි පරිදි ලබාගත හැකිය. කංසා ගිතෙල්වලින් බැදගත් පසු මත්කාරක ගුණය ඉවත් කර ඖෂධ නිෂ්පාදනයට භාවිත කළ හැකිය. ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සඳහා කංසා ශ්‍රී ලංකාව තුළ නීත්‍යනුකූලව වගා කිරීමට අවස්ථාව ලබාදීමෙන් විදේශ විනිමය ලබාගත හැක. අනපනත්වල සිරවීම තුළින් විදේශ විනිමය ලබාගැනීමේ අවස්ථාව ගිලිහී ගොසිනි. කංසා නිසි පරිදි නොලැබීම නිසා ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයේ නිරත වන්නත් කලකිරීමට පත්ව සිටිති. වෙදකම රැක ගැනීම සඳහා ගංජා අවශ්‍ය බව වෛද්‍යවරුන්ගේ මතයයි. මන්ද ගංජාවල ඇට, කොළ සහ දල්ල ඇතුළු සියලු ශාක කොටස් ඖෂධ නිෂ්පාදනය සඳහා භාවිත කළ හැකි බැවිනි. නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙනෙන කේරළ ගංජා මත්ද්‍රව්‍යයකි. අප රටේ විවිධ ප්‍රදේශවල පැතිර ඇති කේරළ ගංජාවල ඖෂධීයමය ගුණයක් ද නොමැත. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැගීම සඳහා කංසා නීත්‍යනුකූලව වගා කිරීමට අවස්ථාව ලබා දුණහොත් ඉන් අයහපතක් වන්නේ නැත. ඉන් නිවැරදි ලෙස අස්වැන්න ලබාගෙන විදේශීය රටවලට අලෙවි කළ හැකිය. ඌව, දකුණ, මධ්‍යම, උතුරුමැද, උතුර, නැගෙනහිර, සබරගමුව යන පළාත්වල කංසා වගා කළ හැකි භූගෝලීය පරිසරයක් පවතියි. විජමු ලොකුබණ්ඩාර මහතා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ආයුර්වේද වෛද්‍යවරුන්ට කංසා ශාක දෙකක් වගා කිරීමට අවස්ථාව උදාකර දී තිබිණි. ඒ අනුව කංසා සම්බන්ධයෙන් රජය නිවැරදි තීන්දුවක් ගත යුතු කාලයයි. මේ දුර්මතවලින් ඉවත්ව ඖෂධ ලෙස රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ආයුර්වේද වෛද්‍යවරුන්ට කංසා භාවිත කිරීමට අවස්ථාව උදාකර දිය යුතුය. නියම ඖෂධ ගුණය ලැබීමට නම් උසාවි භූමි තුළ දීර්ඝ කාලයක් තිබූ දිරාගිය ගංජා කුඩු වශයෙන් නොලැබෙන වකවානුවක් උදා කළ යුතුය. අපේ රටේ කංසා තහනම් කළ බ්‍රිතාන්‍යයද එයට නීත්‍යනුකූල බව ලබාදී ඇති මොහොතක එය ලංකාවේ සංස්කෘතිය මත තවමත් නීතිරීති පනවා තහනම් කර තිබේ. බටහිර රටවල් ඉදිරියේදී අපේ රටට කංසා නිෂ්පාදන අලෙවි කළ හැකිය. ඊට පෙර ඖෂධයක් ලෙස අප රට තුළ කංසා වගා කිරීමට වගකිවයුත්තන්ගේ අවධානය යොමුවන්නේ නම් හොඳය. වෛද්‍ය සුජීව විතානගේ​ සෙත්සුව ආයුර්වේද රෝහල සපුගස්කන්ද උදයජීව ඒකනායක
 

More News..