brand logo

ඉහළම ලකුණු ගත් පහේ හපනුන්ටත් ජනප්‍රිය පාසල් නෑ

19 January 2021

දරුවන් දස දෙනෙක් ම ලකුණු දෙසියය බැගින් ලබා ගනිමින් ශිෂ්‍යත්ව විභාග ඉතිහාසය උඩු යටිකුරු කළේ පසුගිය වසරේ දී ය. දරුවන් මෙතරම් දක්ෂදැයි ඇතැම්හු ප්‍රශ්න කර සිටියහ. කොවිඩ් වසංගතයෙන් හෙම්බත්ව සිටි මව්පියන්ට තම දරුවන්ගේ දක්ෂතා දැක සතුටු කඳුළු වැගිරීමට ද එය අවස්ථාවක් විය. එවර විභාගය යම් තරමකින් හෝ පහසු වීමත් කොවිඩ් නිසා නිවෙස්වලට ම වී සිටි දරුවෝ විභාගයට හොඳින් සූදානම් වීමත් විභාග ප්‍රතිඵල ඉහළ යාම කෙරෙහි බලපාන්නට ඇත. දරුවෝ විශාල පිරිසක් විභාගයෙන් සමත් වූයේ ඉහළ ම ලකුණු ලබා ගනිමිනි. ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමේ අරමුණු දෙකකි. ප්‍රධාන ම අරමුණ අඩු ආදායම්ලාභී මව්පියන්ගේ දිළිඳු දරුවන් සඳහා ශිෂ්‍යත්ව ලබා දීම ය. දෙවැන්න දක්ෂ දරුවන්ට ජනප්‍රිය පාසල්වලට ඇතුළත් වීමට අවස්ථාව සැලසීම ය. මේ වන විට ප්‍රධාන අරමුණ පරයමින් දෙවැනි අරමුණ පෙරමුණට පැමිණ තිබේ. එනම් සියලු මව්පියන්ගේ අරමුණ වන්නේ ශිෂ්‍යත්ව විභාගයෙන් සිය දරුවා සමත් කර ජනප්‍රිය පාසලකට ඇතුළත් කර ගැනීම ය. ශිෂ්‍යත්වය දෙමව්පියන්ගේ විභාගයක් බවට පත් වන්නේ ඒ අනුව ය. මෙවර විභාගයෙන් ඉහළ ලකුණු ලබා ගත් සිය දරුවන් පිළිබඳ උද්දාමයට පත් වූ මව්පියන්ගේ ඊළඟ ඉලක්කය වූයේ සිය දරුවාට ‘ජනප්‍රිය පාසල’ය. දරුවන් විභාගයෙන් කෙතරම් ඉහළ ලකුණු ලබා ගත්තද ජනප්‍රිය පාසල්වල හය වැනි ශ්‍රේණීයේ පවතින පුරප්පාඩු වැඩි වන්නේ නැත. සාමාන්‍යයෙන් සෑම වසරක ම ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළ ලකුණු ලබන දරුවෝ පහළොස් දහසත් විසි දහසත් අතර පිරිසකට ජනප්‍රිය පාසල්වල දොරටු විවර වෙයි. මෙවර ද ඇත්තේ එම පුරප්පාඩු ප්‍රමාණය ම ය. අමාත්‍යාංශය සිසුන් ඇතුළත් කරන්නේ එම පුරප්පාඩු සඳහා ය. යම් වසරක දී දරුවන් වැඩි පිරිසක් ඉහළ ලකුණු ලබා ගත් විට සිදු වන්නේ එම පුරප්පාඩු ප්‍රමාණය එම ඉහළ ලකුණු ලැබු දරුවන් අතර බෙදී යාම ය. මෙවර ද සිදු වී ඇත්තේ එම ක්‍රියාවලිය විනා අන් යමක් නොවේ. එහෙත් අධ්‍යාපන අමාත්‍යාංශයේ යම් යම් ක්‍රියාමාර්ග හේතුවෙන් සිසුන් කිහිප දෙනකුට හෝ ජනප්‍රිය පාසල් අහිමි වන බව කිව යුතු ය. එනම් විවිධ බලපෑම් මත අමාත්‍යාංශය ජනප්‍රිය පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා වෙනත් පාසල්වලින් දරුවන් ඇතුළත් කිරීම ය. දේශපාලන හිතවත්කම මෙන් ම වෙනත් හේතු මත ද මෙම ක්‍රියාවලිය දිගින් දිගට ම සිදු වෙමින් පැවතීමේ ආදීනව විඳීමට සිදුවන්නේ ජනප්‍රිය පාසලක් අපේක්ෂාවෙන් ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළ ලකුණු ලබා ගන්නා ඇතැම් දරුවන්ට බව කිව යුතු ය. කොළඹ මෙන්ම නගරාශ්‍රිත ජනප්‍රිය පාසල්වල අතරමැද ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීම වසරෙන් වසර වර්ධනය වන සෙයක් දක්නට ලැබේ. කදිම උදාහරණය වන්නේ 2019 වසරේ එවැනි ඇතුළත් කිරීම්වලට අදාළව විගණකාධිපතිවරයා විසින් නිකුත් කරන ලද වාර්තාව ය. විගණකාධිපතිවරයා විසින් කරන ලද විමර්ශනයේ දී ජනප්‍රිය පාසල්වල අතරමැදි ශ්‍රේණිවලට දරුවන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් වැදගත් තොරතුරු අනාවරණය වී තිබේ. එම වාර්තාවට අනුව 2019 වසරේ දී කොළඹ රාජකීය විදුහලේ අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් 54 දෙනෙක් ද ආනන්ද විදුහලට සිසුන් 63ක් ද, නාලන්ද විදුහලට සිසුන් 52 ක්ද ඇතුළත් කර ඇත. එමෙන් ම එම වසරේ දී කොළඹ විශාඛා විදුහලට ඇතුළත් කර ඇති සිසුවියන් ගණන 28ක් වන අතර නුගේගොඩ අනුලා විදුහලට ඇතුළත් කර ඇති සිසුවියන් ගණන 41කි. මීට අමතරව මහනුවර උසස් බාලිකා විදුහලේ අතරමැදි ශ්‍රේණි සඳහා ඇතුළත් කර ඇති සිසුවියන් ගණන 32කි. එමෙන්ම සිසුන් 32ක් මහනුවර ධර්මරාජ විදුහලට ද සිසුන් 62 ක් කුරුණෑගල මලියදේව විදුහලට ද ඇතුළත් කර ඇත. විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණයට අනුව මාතර සුජාතා විදුහලට සිසුවියන් 31 දෙනකු ඇතුළත් කර ඇත. මෙම දත්තයන් 2019 වසරට අදාළව ය. වෙනත් පාසල්වල සිට මෙලෙස ඇතුළත් කර ඇත්තේ දෙවැනි ශ්‍රේණියේ සිට හතරවැනි ශ්‍රේණිය දක්වාත් හත්වැනි ශ්‍රේණියේ සිට නව වැනි ශ්‍රේණිය දක්වාත් ය. මේ අතරින් සිසුවියන් පිරිසක් අනිවාර්යයෙන් ම එම වසරේ දී හතරවැනි ශ්‍රේණියට ඇතුළත් වන්නට ඇත. ඔවුන් සියලු දෙනාම පසුගිය වසරේ දී පස්වැනි ශ්‍රේණියට ඇතුළත්ව මෙම වසරේ දී එම පාසල්වල හයවැනි ශ්‍රේණියට ඇතුළත්ව සිටිති. මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළ ලකුණු ලැබූව ද ජනප්‍රිය පාසලකට ඇතුළත් වීමට සිසුන් කිහිප දෙනකුට හෝ අවස්ථාව අහිමි වීමට මෙම තත්ත්වය හේතු වූවා යැයි කීම අතිශයෝක්තියක් නොවේ. ජනප්‍රිය පාසල්වල අතරමැද ශ්‍රේණිවලට ඇතුළත් කිරීමේ ක්‍රියාවලිය නවත්වා ජනප්‍රිය පාසල්වලට හා සාපේක්ෂව වෙනත් පාසල් ද දියුණු කිරීමේ වැඩපිළිවෙළක් නොවන්නේ නම් ජනප්‍රිය පාසල් අහිමි වන සිය දරුවන් වෙනුවෙන් හඬා වැටෙන මව්පියන් හිඟ නොවනු ඇත. රනිල් වලගම, හෝමාගම (පියෙක්) “ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන්නේ ගම්බද දක්ෂ දරුවන්ට පහසුකම් සහිත පාසල්වලට ඇතුළත් වීමට අවස්ථාව සලසන්නයි. මෑත කාලයේ දී ඉතා සියුම් ලෙස මෙම දක්ෂ දරුවන්ගේ එම අවස්ථාව කප්පාදු කරගෙන යන බවත් පෙනෙන්න තිබෙනවා. වර්තමානය වන විට විභාගයෙන් ලකුණු 185ක් ලබා ගත්තත් නුගේගොඩ අනුලා විදුහලට හෝ කොළඹ ඩී. එස්. සේනානායක විදුහලට හෝ ඇතුළත් වීමට හැකි වන්නේ නැහැ. මීට පෙර ලකුණු 180 මට්ටමට ලබා ගත් දරුවන්ට කොළඹ විශාඛා, සිරිමාවෝ, රාජකීය, ආනන්ද නාලන්ද වැනි ජනප්‍රිය පාසල්වලට ඇතුළත් වීමට හැකියාව ලැබුණා. දැන් ඒ අවස්ථාව අහිමි වෙලා තිබෙන්නේ. මේ තත්ත්වය මත සිද්ධ වෙන්නේ ඉදිරි විභාගවලදී මව්පියන්ගේ පීඩනය දරුවන් වෙත තවත් එල්ල වීමයි. මොකද මව්පියන් දන්නවා ජනප්‍රිය පාසලකට යාමට නම් අනිවාර්යයෙන්ම ඉතාමත් ඉහළ ලකුණු සංඛ්‍යාවකට යායුතුයි කියලා. දරුවන්ට සිද්ධ වෙන්නේ ඒ ඉලක්කයට යාමටයි. කෙතරම් පීඩනයක් ද” ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ “ඉහළ ලකුණු ලබා ගත් බොහොමයක් දක්ෂ සිසු දරුවෝ ජනප්‍රිය පාසලක් පිළිබඳ බලාපොරොත්තු බිඳ වැටෙමින් දැඩි මානසික කම්පනයට පත්ව සිටිනවා. ඔවුන් වෙනුවෙන් මහත් කැපවීමෙන් කටයුතු කළ ගුරුවරුන්ට වගේම මව්පියන්ටද බරපතළ විවේචනයක් තිබෙනවා. මෙවර මෙවන් තතත්වයක් උද්ගත වෙන්න ප්‍රධාන ම හේතුව තමයි වෙනත් පාසල්වල සිටින දරුවන් ජනප්‍රිය පාසල්වල අතරමැද ශ්‍රේණිවලට ඇතුළත් කිරීම. එලෙස ඇතුළත් කෙරෙන්නේ විශේෂයෙන් දේශපාලන හිතවත්කම් මතයි. එලෙස විශාල වශයෙන් දරුවන් ඇතුළත් කර තිබෙන බව ඔප්පු කරන්න පුළුවන්. දක්ෂ සිසුන්ට ජනප්‍රිය පාසල් අහිමි වීම ගැන අමාත්‍යාංශය රටට ප්‍රකාශයක් කළ යුතුයි. අනිවාර්යයෙන් ම මෙවර ජනප්‍රිය පාසල්වල අවස්ථාව ලබා දුන් සිසුන් පිළිබඳ සංඛ්‍යාලේඛන ප්‍රසිද්ධියට පත් කළ යුතුයි. එසේ නොමැතිව අමාත්‍යාංශය කරන ප්‍රකාශ කිසිවක් පිළිගන්න අපි සූදානම් නැහැ. ආණ්ඩුවේ වගකීම තමයි දරුවන්ට සාධාරණ අවස්ථා ලබා දීම. ඒ සඳහා අවශ්‍ය පියවර නොගන්නේ නම් යම් යම් ක්‍රියාමාර්ගවලට යන්න සිදු වෙනවා.” ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් ‘‘මෙවර සිසුන් විශාල පිරිසකට ජනප්‍රිය පාසල්වලට ඇතුළත් වීමේ අවස්ථාව අහිමි වෙලා තිබෙනවා. ඊට සම්පූර්ණයෙන් වගකිව යුත්තේ අධ්‍යාපන අමාත්‍යාංශය බව කිව යුතුයි. මොකද සෑම වසරකම ජනප්‍රිය පාසල්වල අතරමැද ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කරන්න අමාත්‍යාංශය ලිපි නිකුත් කරනවා. කවර ආණ්ඩුවක් යටතේ වුවත් එම අකටයුත්ත සිදු වෙනවා. විවිධ සම්බන්ධතා උපයෝගී කර ගනිමින් මෙලෙස දරුවන් අතරමැද දී ජනප්‍රිය පාසල්වල ප්‍රාථමික ශ්‍රේණිවලට ඇතුළත් කළ විට සිදු වෙන්නේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වන දුෂ්කර සිසුන්ට අවස්ථාව අහිමි වීමයි. අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීම නතර කරන තෙක් මේ අසාධාරණයට විසඳුමක් ලැබෙන්නේ නැහැ. අමාත්‍යාංශය කරන වරද දරුවන් පිටින් නොයවා දැන් කරන්න තියෙන්නේ ජනප්‍රිය පාසල්වල අවස්ථා වැඩි කිරීමයි.” විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත “මෙවර ශිෂ්‍යත්ව විභාගයේ දී සිසුන්ගේ ලකුණුවල ඉහළ යාමක් සිදු වී තිබෙනවා. කොවිඩ් වසංගතය නිසා නිවෙස්වල සිටි සිසුන් වෙනත් වසරවලට සාපේක්ෂව විභාගයට සූදානම් වීමට ඉඩ ලැබිලා තිබෙනවා. එම අවස්ථාවෙන් සිසුන් උපරිම ප්‍රයෝජන ගෙන ඇති බව පැහැදිලියි. හැම දෙනාගෙම ලකුණු ඉහළ ගිහිල්ලා තියෙන්නේ ඒ නිසයි.” අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා “ මෙවර සිසුන්ගේ ලකුණු මට්ටම් ඉහළයි. ඒ නිසයි ඉහළ ලකුණු ලබා ගත් සිසුන්ටත් ජනප්‍රියම පාසල්වලට ඇතුළත් වීමේ අවස්ථාව අහිමි වෙලා තිබෙන්නේ. වෙනත් වසරවල මෙන් ම මෙවරත් ශිෂ්‍යත්ව සමතුන්ට ජනප්‍රිය පාසල්වල අවස්ථාව කිසිදු අඩු කිරීමකින් තොරව ලබා දුන්නා. ඒ සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ. මෙවර එම පාසල්වල අවස්ථාව ලැබිලා තියෙන්නේ විභාගයෙන් ඉහළ ම ලකුණු ලැබූ සිසුන්ටයි. ඇතැම් පාසල්වලට සිසුන් වැඩිපුර ඇතුළත් කිරීමට අමාත්‍යාංශය මැදිහත් වී කටයුතු කළා. හැම මව්පියෙක් ම උත්සාහ කරන්නේ හොඳම පාසලට තමන්ගේ දරුවා ඇතුළත් කර ගැනීමටයි. පවතින තරගයත් සමග ඒ අවස්ථාව ලැබෙන්නේ වැඩිම ලකුණු ලැබූ සිසුන්ටයි. මෙවර වෙලා තියෙන්නේ එයයි. නැතුව අමාත්‍යාංශයේ කිසිදු අඩුපාඩුවක් මත නෙවෙයි. මේ පිළිබඳව මව්පියන් කටයුතු කරන්නේ අනවබෝධයෙන්.   නිලන්ත මදුරාවල
 

More News..