brand logo

ඉහළම පුටුවට පැමිණියහොත් අන්තවාදය පලවා හැරීමට අවශ්‍ය තැනට ප්‍රහාරය එල්ල කිරීමට පසුබට නොවෙයි

07 July 2019

අන්තවාදය මෙටට එන තැන නිවැරදිව හදුනා ගෙන ඔළුවටම ප්‍රහාරයක් එල්ල නොකර අපේ රටෙන් අන්තවාදය පලවා හැරීමට නොහැකි බවත්,තමන් මෙරට ඉහළම පුටුවට පැමිණියහොත් අවශ්‍ය තැනට ප්‍රහාරය එල්ල කිරීමට පසුබට නොවන බව වැවිලි කර්මාන්ත ඇමති නවීන් දිසානායක මහතා පැවසීය. හලාවත වැවිලි සමාගමට අයත් පළුගස්වැව වතු යායේ පැවති සේවක හමුවකදී ඇමතිවරයා මේ බව සදහන් කළේය. හලාවත වැවිලි සමාගමට අයත් පළුගස්වැව වතු යායේ පවත්වා ගෙන යන කජු සැකසුම් මධ්‍යස්ථානය,කිරි නිෂ්පාදනාගාරය සහ සුදු පොල් තෙල් නිෂ්පාදනාගරයද ඇමතිවරයාගේ නිරීක්ෂණයට මෙහිදී ලක් විය. තව දුරටත් කථා කළ වැවිලි කර්මාන්ත ඇමති නවීන් දිසානායක මහතා මෙසේද පැවසීය. මේ රට ඉදිරියට ගෙන යාමට නම් ස්ථීර ප්‍රතිපත්ති ගත යුතුව තිබෙනවා.කොන්ද කෙළින් තියා ගෙන තීන්දු තීරණ ගත යුතුයි.ත්‍රස්තවාදීන්ට මුහණ දුන්න රටක් මේක. අවුරුදු 30 ක් යුද්ධයකට මුහුණ දුන් රටක්.මගේ තාත්තත් මට ත්‍රස්තවාදය නිසා නැති වුණ පුතෙක් මම.දෙමළ හෝ,මුස්ලිම් හෝ සිංහල හෝ ත්‍රස්තවාදීන්ට මේ රටේ ඉඩක් නැහැ.අපි මූලිකව කෙලින් තීරණ ගත යුතුයි. පසුගිය පාස්කු ඉරිදා ඇතිවූ ප්‍රහාරයෙන් පසුව විශාල භීතිකාවක් අපේ රටේ ජනතාව අතර ඇති වුණා.ඒක සාධාරණ භීතිකාවක්.විශේෂයෙන්ම මුස්ලිම් අන්තවාදය ගැන.මුස්ලිම් අන්තවාදයට හෝ කිසිම අන්තවාදයකට මේ රටේ තැනක් නැහැ.මේ රටේ ඕනෑම දේශපාලකයෙකු හෝ පක්ෂයක් අන්තවාදයට විරුද්ධව කටයුතු කළ යුතුයි. පුංචි කොල්ලෙක්ව සිටියදී මම මුස්ලිම් ජනතාව සමග එකට ජීවත් වුණා.මම ඉන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ.නුවරඑළිය දිස්ත්‍රික්කයේ සිංහල බෞද්ධයින් වෙනුවෙන් සටන් කරන ශක්තිමත්ම මන්ත්‍රීවරයා මමයි.නමුත් මම කිසිම අවස්ථාවක දමිල හෝ මුස්ලිම් ජනතාව පාගන්න උත්සාහ කරන්නේ නෑ. මගේ දිස්ත්‍රික්කයේ බහුතරයක් ඉන්නේ දමල ජනතාව.නුවරඑළිය ආදර්ශමත් කර ගෙන මම මගේ දේශපාලනය කරනවා.සියළුම ජනතාවට එක හා සමාන අයිතිවාසිකම් තිබෙන බව මම පිළිගන්නා කරුණක්.ඒ වෙනුවෙන් කටයුතු කරමින් සිටින දේශපාලකයෙක් මම. මුස්ලිම් අන්තවාදය කොහෙන්ද එන්නේ.සම්ප්‍රදායක මුස්ලිම් ජනතාව අපිත් සමග එකමුතුව ජීවත් වුණා.නමුත් 1990 දශකයෙන් පස්සේ මුස්ලිම් අන්තවාදය අපේ රටට එන්න පටන් ගත්තා.මූන වහන "හිජාබය" ආවේ කොහෙන්ද කියලා ඔබ දන්නා කරුණක්.හිජාබය ලංකාවේ සම්ප්‍රදායක මුස්ලිම් වරුන්ගෙන් ආව දෙයක් නෙමෙයි.හිජාබය කොහෙන්ද ආවේ?කව්ද ගෙනාවේ කියලා කව්රුවත් කථා කරන්නේ නෑ.ඒ හැම කෙනෙක්ම ඉන්නේ බය වෙලා. එකට හේතුව තමයි මැද පෙරදිග තියන ධනවත්ම රටේ ආර්ථික ශක්තියට බයයි සියළුම දේශපාලකයින්. නමුත් මම බය නැහැ.මම අද පැහැදිලිවම කියනවා වහාබ් අන්තවාදය අපේ රටට එන්නේ සෞදි අරාබියෙන් කියලා. ඒක පාලනය කරන්න මේ රටේ ඉන්න දේශපාකයෝ කටයුතු කරනවාද?නැහැ.නමුත් සෞදි ආරාබියාව ගැන පළමුවෙන්ම කථා කරන්නේ මම.මම දැඩි තීරණයක් ගන්න කැමතියි.මට මේ රටේ ඉහළම පුටුවේ වාඩි වෙන්න වාසනාව තියනවා නම් අපේ රටෙන් සෞදි අරාබියාවට ශ්‍රමිකයින් යන එක නවත්වන්න මම තීරණයක් ගන්නවා.අපේ රටට හැකියාව තිබිය යුතු වෙනවා ඒ ආර්ථික පාඩුව දරා ගන්න. ඒක විශාල පාඩුවක් නෙමෙයි.නමුත් ඒ පාඩුව දරා ගත යුතුයි.මොකද "විෂකුරු නයා" ඉන්නේ එතන නිසා.මොකද වහාබ් කියන මූලධර්මය පැහැදිලිවම එන්නේ සෞදි අරාබියෙන් වන නිසා.අවශ්‍ය තැනට ඔළුවටම ගහන්නේ නැත්නම් කවදාවත් මේ ප්‍රශ්ණය විසදන්න අපිට බැහැ. අපි කියනවා මුස්ලිම් අන්තවාදීන් ඉන්නවා නම් ඒ ගැන හදුනා ගෙන කටයුතු කරන්න අවශ්‍යයි කියලා.නමුත් විෂ එන තැන හදුනා ගෙන ඒකට ප්‍රතිකර්ම කරන්නේ නැහැ.එම තත්ත්වය උඩ මේ විෂ බීජය දිගටම අපේ ඇගට එන්න පුළුවන්. දේශපාලනය කියන්නේ බලය ලබා ගැනීම සහ බලය රදවා තබා ගැනීමයි.තව මාස කීපයකින් මේ රටේ ජනාධිපතිවරණය එනවා.අපේ පක්ෂය ඉදිරිපත් කරන ජනාධිපති සහ අගමැති අපේක්ෂකයා එක පවුලකට සීමා වෙන්නේ නැහැ. නමුත් පොහොට්ටුව පක්ෂයේ ඔය කියන අපේක්ෂකයින් දෙන්නම එකම පවුලේ.නැවතත් දැඩි පවුල් අන්තවාදයකට යන්න ඔබට අවශ්‍ය වන්නේ නම් මට ඒකත් ගැටළුවක් නෙමෙයි.නමුත් වගකීමෙන් කියනවා අපි ඉදිරිපත් කරන්නේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙක්.ඒ අනුව මතක තියා ගන්න අගමැති එක පවුලකින්,ජනාධිපති වෙනත් පවුලකින් බව.මොකද අපේ පක්ෂය ආයතනික පක්ෂයක් බව අමතක කරන්න එපා. අවුරුදු ගානක්,පරම්පරා කීපයක් මේ වතු යාය වල් වල ලැයිම් නිවාස වල පදිංචි වෙලා වැඩ කරන අය ඉන්න බව මම දන්නවා.ඒ සෑම පවුලකටම මේ වතු යායෙන් පර්චස් 07 බැගින් ඉඩම් කැබැල්ලක් ලබා දෙන්න මම තීරණය කලා.ඒ අනුව හලාවත වැවිලි සමාගමේ සභාපති තුමන් ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයට මම කියනවා ලබන සැප්තැම්බර් මාසය වන විට ඉඩම් ලාභීන් තෝරා ගෙන,ඒ අයට අදාල ඉඩම් කැබැල්ල ලබා දීම සදහා අවශ්‍ය කටයුතු සුදානම් කරන්න කියලා. වැවිලි කර්මාන්ත නියෝජ්‍ය ඇමති සුරේෂ් වඩුවෙල්,පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හෙක්ටර් අප්පුහාමි,ශාන්ත සිසිර අබේසේකර, හලාවත වැවිලි සමාගමේ සභාපති ආසිරි හේරත් යන මහත්වරුන්ද මෙහිදී කථා කළේය. වසර ගනනක් තාවකාලික සේවකයින් ලෙස හලාවත වැවිලි සමාගම තුළ සේවය කළ කීප දෙනෙකුට ස්ථීර පත්වීම් ප්‍රධානය කිරීමද මෙහිදී සිදු විය. ජුඩ් සමන්ත
 

More News..