brand logo

දේශපාලන පළිගැනීම් පිට දමා ඉහළට යන්න දඟලන පොලිස් ලොක්කෝ

04 April 2021

අසූහාරදහසක් වන පොලිසියේ සිය දෙනෙකුගේ වැඩක්

ඇතැමුන් සේවය කරන්නේ ඇමැති ආරක්ෂකයන් ලෙස

දේශපාලන පළිගැනීම්වලට ලක්වූ බව පවසමින් පොලිසියේ පිරිසක් උසස්වීම් ලබාගැනීමට යළිත් උත්සාහ දරමින් සිටින බව උසස් පොලිස් නිලධාරීහු පවසති. මීට පෙර දේශපාලන පළිගැනීම් යැයි පවසා 74 දෙනෙකුගේ නාමලේඛනයක් දේශපාලන පළිගැනීම් පිළිබඳ කමිටුවට ඉදිරිපත් කෙරිණි. පොලිස් නිලධාරීන් පවසන්නේ එය ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් නවතා දැමූ බවකි. දෙවනුව එය 84 දෙනෙකුගෙන් යුක්තව නැවතත් කරළියට පැමිණ තිබිණ. එයද නවතා දැමීමක් සිදුවූ බව එකී පොලිස් නිලධාරීහු සඳහන් කරති. එහෙත් නැවතත් 50කට අධික පිරිසකගේ නාම ලේඛනයක් දේශපාලන පළිගැනීම් පිළිබඳ කමිටුව මගින් හෙළිකර තිබිණි. එම පොලිස් නිලධාරීන් පවසන්නේ එකම දිනයේ පොලිස් සේවයට බැඳුණු නිලධාරින්ගෙන් පිරිසක් උසස්වීම් ලබාගැනීමට සම්මුඛ පරීක්ෂණ සඳහා ඉදිරිපත් වූ බවකි. සුළු පිරිසක් දේශපාලනඥයන්ගේ හිතවත්කම් මත පළිගැනීමට ලක්වූ බව පවසමින් උසස්වීම් ලබාගැනීමට උත්සාහ කිරීම අසාධාරණ ක්‍රියාවක් බවකි. ඒ අතරින් නිලධාරීන් වැඩි පිරිසක් ඇමැති ආරක්ෂකයෝ ලෙස සේවය කරන බවද පැවැසේ. අසූහතර දහසක් සේවය කරන පොලිසියේ සියයට අඩු ප්‍රමාණයක් දේශපාලන පළිගැනීම්වලට ලක්වූ බව පැවැසීම විශේෂයෙන් අධ්‍යයනය කළ යුතු බවද ඔවුහු පවසති. නිලධාරීන් බොහෝ පිරිසක් තමන්ගේ උසස්වීම් නිසි කලට නොලැබුණු හෙයින් නඩුමගට එළැඹී තිබේ. එවැනි අවධියක මෙලෙස විවිධ හේතු මවා පාමින් උසස්වීම් ලබාදීමට ක්‍රියාකිරීම ගැන ඔවුහු කනගාටුව ප්‍රකාශ කරති. ​ජ්‍යෙෂ්ඨත්වය හා සුදුසුකම් මත කමිටුවකින් නිර්දේශය ලබාගැනීම වඩාත් සුදුසු බව ඔවුහු පවසති. මේ සම්බන්ධයෙන් දේශපාලන පළිගැනීමට ලක්වූවන්ට සහන සැලසීමේ කමිටුවේ සභාපති ප්‍රවාහන ඇමැති ගාමිණි ලොකුගේගෙන් අපි විමසීමක් කළෙමු. ඔහු මෙ​සේ කීය. කිසිදු නාම ලේඛනයක් ජනාධිපතිවරයාගේ මැදිහත් වීමකින් නවත්වා නැහැ. අප රජය බලයට පත්වීමට පෙර විපක්ෂ නායක කාර්යාලයේ ඕම්බුඩ්ස්මන් කියන තනතුරක් ඇති කරලා දේශපාලන පළිගැනීම්වලට ලක්වූ අය දැනුවත් කරන්නැයි කියා ප්‍රකාශ කළා. ඒ අනුව අපි සියලුම කරුණු සොයා බලා විමර්ශන සිදුකරලා තිබෙනවා. දේශපාලන පළිගැනීම් විමර්ශන කටයුතු අපි අපක්ෂපාතිව කරගෙන යනවා. තවම අපේ කමිටු වාර්තාව ඉවර කරලා නැහැ. අපි විසින් තෝරාගත් පිරිසකගේ නාම ලේඛනයක් අග්‍රාමාත්‍ය කාර්යාලයට යවලා තිබෙනවා අවශ්‍ය විදියට කටයුතු කරන්න කියලා. හේමන්ත ලියනපතිරණ
 

More News..