brand logo

ඉස්සෙල්ලාම එන්නේ ජනාධිපතිවරණය අපි එකට මුහුණ දීලා බලමු මොකද වෙන්නේ කියලා

06 January 2019

ෆෙඩරල්, ඒකීය සහ බලය බෙදාහැරීම පිළිබදව තේරුම නොදන්නා පුද්ගලයින් ප්‍රකාශ ඉදිරිපත් කිරීම හාස්‍යයට කරුණක් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. සෞඛ්‍ය අමාත්‍යවරයාගේ විමධ්‍යගත ප්‍රතිපාදන තුලින් ස්වයං රැකියාවන් හී නිරතවීමට අපේක්ෂිත තරුණියන් සදහා පවත්වන ලද රූපලාවන්‍ය පාඨමාලාවේ කුසලතා එළිදැක්වීමේ උත්සවයට ඊයේ (05) පස්වරුවේ එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී උත්සවය පැවැත්විනි. මෙම උත්සවයෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ ද පැවැසීය. “ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමට පත් කර තිබෙන තේරිම් කාරක සභාව මගින් ව්‍යවස්ථාව දැන් කෙටුපත් කරගෙන යනවා. ඒ කෙටුම්පත් කළව්‍යවස්ථාව ඉදිරි කාලයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඉන් පසු ඒ පිළිබද විවාද කරලා අවසාන ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමට ක්‍රියා කරනවා. එතකොට හැම පක්ෂයකටම තම තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. මන්ත්‍රීවරුන්ටත් ව්‍යවස්ථාව පිළිබද අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. මේ ව්‍යවස්ථාවේ ප්‍රධානතම කරුණු දෙකක් තිබෙනවා. ජනාධිපතිගේ බලතල සිමා කිරිම 19 වන සංශෝධනයෙන් කරලා ඉවරයි. එක් කරුණක් තමයි දැන් තිබෙන්නේ ජනාධිපති ක්‍රමය අහෝසි කිරිම හෝ නාමික ජනාධිපතිවරයෙක් මගින් අගමැති ඇතුලු පාර්ලිමේන්තුවට බලතල ලබාදීමේ වැඩපිළිවෙල. දෙවැනි එක තමයි ජාතික සංහිදියාව ඇති කිරීම සදහා කොහොමද අපි මේ ව්‍යවස්ථාවෙන් ඒ සංහිදියාව ඇතිවන වැඩපිළිවෙල ඉදිරිපත් කරන්නේ කියන එක. ඒකෙදි පළාත් සභා ගැන කිව්වොත් අද ඉතාමත් හොද තත්ත්වයකට ඇවිල්ලා තිබෙනවා. උතුරේ දුවිඩ දේශපාලන පක්ෂය ප්‍රථම වරට අද ඒකීය රාජ්‍යයක් පිළිගන්න ඒකීය රාජ්‍යයක් යටතේ බලය බෙදාගන්න එකගත්වය පළ කර තිබෙනවා. 1950 ගණන් වලත් ෆෙඩරල් පක්ෂය බිහි වුනේ තමන්ට ෆෙඩරල් බලයක් ඕනි කියලා. නමුත් අද ප්‍රථම වරට එතනින් පස්සට ගිහිල්ලා ඔවුන් ෆෙඩරල් නොවෙයි ඒකීය රාජ්‍යයකට එකගතාවය පළ කර තිබෙනවා. මේ රටට ෆෙඩරල් ව්‍යුහයක් ඕනි කියලා ඉස්සෙල්ලාම කිවුව දේශපාලනඥයා තමයි ශ්‍රීමත් එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා. එතුමා කිවුවේ ෆෙඩරල් ක්‍රමයකින් තමයි මේ රට දියුණු කරන්න පුළුවන් කියලා. එදා ඩොනමෝර් කොමිමේ දී ෆෙඩරල් බලය ඉල්ලුවේ උඩරට සිංහල බෞද්ධ පිරිස් මිසක් උතුරේ අය නොවෙයි. උතුරේ අය කිවුවා ඒක එපා කියලා. පසු කළෙක අප අතර ඇති වූ අසමගිය නිසා තමයි ද්‍රවිඩ අය ෆෙඩරල් බලයක් ඉල්ලුවේ. නමුත් ඔවුන් අද ඒකීය රාජ්‍යයයක් යටතේ බලය බෙදා ගැනීමට එකගතාවයකට පැමිණ තිබෙනවා. ඒකම අපි අතර ඇති වුන සුහදතාවයේ ප්‍රතිඵලයක් කියලා මම කියනවා. ඒ නිසා උතුරේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂයත් සමග ගණුදෙනු කිරිමට ඇති හැකියාව සහ ගණුදෙනු කිරීමේ වටපිටාවක් අපි ඇති කිරිම තුල තමයි ඔවුන් මෙවැනි එකගතාවයකට එන්න හේතු වුනේ. එදා ඉදලා මේ දේශපාලන බල කෑදරකමට හොදින් හෝ නරකින් බලය ලබාගැනීමේ ලංකාවේ දේශපාලන ක්‍රමය නිසා තමයි 50 ගණන් වල සිට මේක අවුලලා අන්තිමට යුද්ධයක් බවට පත් වුනේ. ඒකිය රාජ්‍යයක බලය බෙදුනාම කොහොමද ෆෙඩරල් වෙන්නේ. ඔය කථා කරන බොහෝ අය ෆෙඩරල් කියන්නේ මොනාද කියලා දන්නෙත් නැහැ. ඒකීය කියන්නේ මොකක් ද කියලා දන්නෙත් නැහැ. බලය බෙදීම කුමක් ද කියලා දන්නෙත් නැති අය තමයි රූපවාහිනියේ කථා කරන්නේ.” “අපි ආපු දවසේ ඉදලා ආර්ථිකය ශක්තිමක් කරලා තිබෙනවා. රජයේ සේවකයින්ගේ රුපියල් 10,000 කින් වැටුප් වැඩි කළා. එය අවුරුදු හතරක් පුරා රුපියල් 2500 ගාණේ මූලික වැටුපට එක් කළා. 2006 ට පස්සේ පළමු වරට තමයි මූලික වැටුපට මුදලක් එකතු වුනේ. ඒ අවුරුදු 10 කට පස්සේ. 2020 වෙනකොට රජයේ සේවකයෙක්ගේ වැටුප රුපියල් 10,000 කින් වැඩි වෙනවා. එතකොට රුපියල් 25,000 කින් විතර සම්පුර්ණ වැටුප වැඩිවෙලා. රාජ්‍ය සේවකයින් දෙන්නෙක් ඉන්නවා නම් රුපියල් 50,000 වැටුප වැඩි වෙනවා. සමෘද්ධිලාභීන්ගේ දීමනාව අපි දෙගුණ කළා. එතකොට මහපොල ඉගෙන ගන්න ළමුන්ගේ දීමනාව 2500 ඉදලා 5000 කළා. එමෙන්ම ඉන්ධන මිල අවුරුදු 03 ක් පහළ මිලකට බස්සලා අපි අවුරුදු 03 ඒ මිලෙහිම තියාගෙන හිටියා. රාජපක්ෂ ආණ්ඩුව එදා අවුරුද්දට දෙතුන් පාර ඉන්ධන මිල ඉහළ දැම්මා. ජීවන වියදම අඩු කිරිමට අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග ගත්තා. අද ජිවන වියදම වැඩියි කියලා මැසිවිලි නගන්නේ ජනතාව මේ කන කැමවේලෙවත්, අදින ඇදුමෙවත් මිල නිසා නොවෙයි. අමතර වියදම් ඉහළ නංවා ගැනීම තුලින්. ජංගම දුරකථන භාවිතය, පඩ් වැඩිවෙන රජයේ වෙකයෝ කුඩා වාහන මිලදි ගැනීම වැනි හේතු ඊට බලපෑවා. අනෙකුත් අංශ වලින් බැලුවොත් ජිවන වියදම් එහෙම වැඩීමක් නැහැ.” “ඡන්දයක් ඕනි කිවුවට කාටවත් ඡන්දයක් පවත්වන්න බැහැනේ. ඡන්දයක් පවත්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය වෙනවා පාර්ලිමේන්තුව විසුරුවා හැර ඡන්දයකට යන්න. එහෙම නැත්නම් අවුරුදු හතරහමාරකට පසද්සේ තමයි ජනාධිපතිවරයාට පුළළුවන් විසුරුවන්න. ඉන් පසු ඡන්දෙකට යන්න පුළුවන්. ඒ නිසා කවුරු ඡන්දයක් ඉල්ලුවත් වැඩක් නැහැ මන්ත්‍රීවරුන්ගේ තුනෙන් දෙකක් එකගතාවය පළ කරන්න ඕනි. ඉස්සෙල්ලාම එන්නේ ජනාධිපතිවරණය අපි එකට මුහුණ දීලා බලමු මොකද වෙන්නේ කියලා.”
 

More News..