brand logo

‘ඉස්සෙන’ බිත්තර අස්සේ බඩඉරිඟු

19 June 2020

බඩ ඉරිඟු හිඟය හේතුවෙන් කුකුළු මස් සහ බිත්තර මිල පාලනය කිරීම අසීරු වී ඇතැයි සමස්ත ලංකා කුකුළු නිෂ්පාදකයන්ගේ සම්මේලනය ප්‍රකාශ කරයි. එම නිසා මේ වන විට වෙළෙඳපොළේ කුකුළු මස් කිලෝවක මිල රු. 600කට ද බිත්තරයක් රු. 17 සිට රු. 20 දක්වා වූ මිලකට ද අලෙවි වන බව එම සම්මේලනයේ සභාපති අජිත් ගුණසේකර ‘අරුණ’ට පැවසීය. ‘‘අපිට තියෙන ප්‍රධානම ගැටලුව තමයි සත්ත්ව ආහාර සඳහා ගන්නා බඩඉරිඟුවල හිඟය. බඩඉරිඟුවලට රුපියල් පනස් පහක පාලන මිලක් පනවලා තිබුණට මේ වෙනකොට කිලෝවක් අලෙවි වෙන්නේ රුපියල් හැත්තෑ පහක් වගේ ඉහළ මිලකට. ඒ නිසා ශීත කළ කුකුළු මස් රුපියල් හාරසිය පනහකට සහ සම රහිත කුකුළු මස් රුපියල් පන්සිය පනහකට අලෙවි කරන්න වෙලා. තියෙන පාලන මිලේ රැඳී ඉන්න අපේ නිෂ්පාදකයන්ට අමාරුයි. සමහර තැන්වල රුපියල් හයසීයටත් මස් අලෙවි වෙනවා කියලා අපිට වාර්තා වෙනවා. බිත්තර මිලටත් බලපාල තියෙන්නේ බඩඉරිඟු ගැටලුවම තමයි. පහුගිය මාර්තු මාසේ ඇඳිරිනීතිය පැනවීම නිසා බිත්තර මිල රුපියල් අට, දහය දක්වා පහත බැස්සා. නමුත් අද රුපියල් දහනවය, විස්ස දක්වාම ඉහළ ගිහින්. බිත්තරවල මදයේ තියෙන කහ පාටට හේතුව කැරටින් කියන සංඝටකය. බඩඉරිඟුවල තමයි කැරටින් තියෙන්නේ. ඒ නිසා නිෂ්පාදකයෝ බඩඉරිඟුම ආහාර විදියට දෙන්න උත්සාහ කරනවා. බඩඉරිඟු මිල ඉහළ යනකොට බිත්තර මිලත් ඒ අනුව ඉහළ යන්නෙ ඒ නිසා.’’ කෙසේ වෙතත් ඉදිරි කන්නයේ දී බඩඉරිඟු වැඩිපුර වගා කිරීමට රජය ගොවීන් දිරිමත් කර ඇති බැවින් මෙම ගැටලුව තාවකාලික එකක් වනු ඇතැයි ද සභාපතිවරයා සඳහන් කරයි. නයන තරංග ගමගේ
 

More News..