brand logo

ඉස්ලාම් දහමට අපහාස කළ බවට ඥානසාර හිමිට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ල මාර්තු 16 යළි කැඳවීමට නියෝග

02 December 2019

ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ප්‍රකාශයක් සිදුකළ බවට සැකකෙරෙන බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ලක් සම්බන්ධයෙන් නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති හෙයින් එම පැමිණිල්ල යළි මාර්තු මස 16 වන දා කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් අද (02) නියෝග කරන ලදී. මෙම පැමිණිල්ල ඊයේ කැදවනූ ලැබූ අවස්ථාවේදී විමර්ශන සිදුකළ සංවිධානාත්මක අපරාධ වැලැක්වීමේ කොට්ඨාසය අධිකරණයට කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළ පරීක්ෂණ අවසන් කර ඊට අදාළ වාර්තා උපදෙස් ලබා ගැනීම සඳහා නීතිපතිවරයා වෙත යොමුකර ඇති බව සඳහන් කළහ. එහෙත් නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බවද පොලිසිය අධිකරණයට දන්වා සිටියේය. එම කරුණු සලකා බැලූ අධිකරණය පැමිණිල්ල නැවත මාර්තු මස 16 වනදා යළි කැඳවීමට නියම කළ අතර එදින නීතිපතිවරයාගේ උපදෙස් පිළිබඳව අධිකරණය දැනුවත් කරන ලෙස විමර්ශන සිදුකළ සංවිධානාත්මක අපරාධ වැලැක්වීමේ කොට්ඨාසයට නියෝග කළේය. 2017 වසරේ පොලොන්නරුව ප්‍රදේශයේ දී ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ප්‍රකාශයක් සිදුකිරීම තුළින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කොට සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කොට්ඨාශය විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ. මීට අදාළව ඥානසාර හිමියන් මේ වන විට අධිකරණය මගින් ඇප මත මුදාහරිනු ලැබ සිටිති. අධිකරණ වාර්තාකරු
 

More News..