brand logo

ඉවත් කළ සේවකයාට ලක්ෂ 38ක් ගෙවන්න මහරාජාට නියෝග

11 January 2021

සීමාසහිත කැපිටල් මහරාජා ඕගනයිශේෂන් සමාගමේ සේවයෙන් පහකළ අංගොඩ කැලණිමුල්ල පදිංචි ඉන්දික අනුර ශාන්ත නමැති අයට සිදුවූ පාඩුවට මසකට රු. 72061 ක් බැගින් වසර 4 1/2 ක වැටුප් රු. 38,91240/- (රුපියල් තිස්අට ලක්ෂ අනූඑක් දහස් දෙසිය හතළිහක්) වන්දියක් වශයෙන් ගෙවන ලෙස කොළඹ කම්කරු උසාවිය එම ආයතනයට නියෝග කළේය. වසර 27 කට උඩදී කාර්යාල කාර්ය සහායකයකු ලෙස එම ආයතනයේ සේවයට බැඳී විශේෂ කාර්මික ශිල්පියකු ලෙස කටයුතු කරමින් සිටි එම සේවකයාගේ සේවය 2018.09.05 දින අවසන් කිරීම අසාධාරණ සහ අයුක්ති සහගත ලෙස කර ඇති බවට කම්කරු උසාවිය තීන්දු කළේය. එකී වන්දි මුදල 2021 ජනවාරි 21 හෝ ඊට පෙර දකුණු කොළඹ සහකාර කොමසාරිස් වෙත තැන්පත් කරන ලෙසද සමාගමට නියම කෙරිණි. කොළඹ 8 කම්කරු උසාවියේ සභාපති, අතිරේක මහෙස්ත්‍රාත් සී. ඊ. ලියනපතිරණ මහතා විසින් එකී නියෝග නිකුත් කරනු ලැබුවේ දීර්ඝ නඩු විභාගයකින් අනතුරුවයි. පැමිණිලිකරු (අනුර ශාන්ත) මෙම නඩුවෙන් ප්‍රකාශ කළේ සාධාරණ හේතුවක් නැතිව තමා සේවයෙන් පහකළ බවයි. විශ්‍රාම යාමට වසර 10 ක් ඉතිරිව තිබෙන බැවින් ඒ සම්පූර්ණ කාලසීමාවම සඳහා වන්දියක් ලෙස සමාගමෙන් අයකර දෙන ලෙස ඉල්ලා තිබිණි. වගඋත්තරකාර (කැපිටල් මහරාජා සමාගම) නඩුවට උත්තර බඳිමින් කියා සිටියේ පැමිණිලිකරු සේවයේ යෙදී සිටියදී කරන ලද විෂමාචාරයක් හේතුකොටගෙන වැඩ තහනම් කර පසුව විනය පරීක්ෂණයක් පවත්වා සේවය අවසන් කළ බවයි. විනිසුරුවරයා ප්‍රකාශයට පත්කළ නඩු තීන්දුවේ මෙසේ සඳහන් වේ. පැමිණිලිකරු නිශ්චිත මූල්‍ය වංචාවක් කර ඇති බවට චෝදනාවක් ගොනුකර නැත. ඔහුගේ සේවය අවසන් කිරීමට පෙර පවත්වා ඇති විමර්ශන කටයුතුද සද්භාවයෙන් යුතුව අධිකරණයක් ඉදිරියේ ඔප්පු කළ හැකි සාක්කි ඇතිව අවසන් කර නැති බවද පෙනී යයි. ගෘහස්ථ විනය පරීක්ෂණයකද ස්වාධීන පුද්ගලයකු විසින් කර නැත. ඒ අනුව පැමිණිලිකරුගේ සේවය අවසන් කිරීම යුක්ති සහගත නොවන බවට තීන්දු කරමි. ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ දීප්ති ගුරුගේ පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටි අතර අධිනීතිඥ පසිඳු සිල්වා මහරාජා ආයතනය වෙනුවෙන් පෙනී සිටියේය. සරත් ධර්මසේන
 

More News..