brand logo

ඉර්ෆාන් පතාන් ලංකාවට එන්නෙ නැහැලු

05 August 2020

ලබන 28 වැනිදා ආරම්භ වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා තමන් සහභාගි වන බවට පල වන වාර්තා ප්‍රතික්ෂේප කරන බවට ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක ඉර්ෆාන් පතාන් ට්විටර් පණිවුඩයක් මගින් සඳහන් කර තිබේ. තමන් මේ වන විට කිසිදු ලීග් ක්‍රිකට් තරගාවලියක් සඳහා සහභාගි වන බවට තහවුරු කර නොමැති බවත් එම සටහනේ සඳහන් වේ. කෙසේ නමුත් ඉකුත් ජනවාරි මාසයේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කළ පතාන් අනාගතයේදී ලොව පුරා පැවැත්වෙන විස්සයි විස්ස ලීග් ක්‍රිකට් තරගාවලි සඳහා ක්‍රීඩා කිරීමට කැමැත්තෙන් පසුවන බැව්ද සඳහන් කර තිබේ. ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන්ට විදෙස් රටවල පැවැත්වෙන ලීග් ක්‍රිකට් තරගාවලි ක්‍රීඩා කිරීම සඳහා එරටේ ක්‍රිකට් ආයතනයෙන් අවසරයක් නොලැබෙන අතර මේ වන විට පතාන් සිය සමුගැන්ම නිවේදනය කර තිබීම මත ඉදිරියේදී එම ගැටලුව ඔහුට මතු වන්නේ නැත. 35 හැවිරිදි පතාන් ඉන්දීය ප්‍රිමියර් ලීග් ආරම්භක තරගාවලියේ ප්‍රබල ක්‍රීඩකයෙකු වූ අතර ඔහු චෙන්නායි සුපර් කිංග්ස්, දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස්, කිංග්ස්ලෙවන පංජාබ්, රයිසින් පූනේ සුපර්ජියන්ට්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් යන කණ්ඩායම් නියෝජනය කරමින් ක්‍රීඩා කර ඇත. මීට අමතරව ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග 29කට එක්දින තරග 120කට සහ විස්සයි විස්ස තරග 24කට සහභාගි වී තිබේ. එහිදී පන්දු යැවීමෙන් කැපී පෙනෙන දස්කම් දක්වා තිබෙන පතාන් ටෙස්ට් කඩුලු 100ක්, එක්දින කඩුලු 173ක් සහ විස්සයි විස්ස කඩුලු 28ක් දවාගෙන සිටියි. මේ මාසයේ පැවැත්වෙන ලංකන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වීමට කැමැත්ත පලකර තිබෙන විදෙස් ක්‍රීඩකයන් 125ක් අතුරින් 30 දෙනෙක් පමණක් තෝරා ගන්නා බවට ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා අරුණ කළ විමසීමකදී සඳහන් කර සිටියේය.
 

More News..