brand logo

ඉරණමඩු ජලාශයෙන් ජලය නිකුත්වීම උතුරේ සංහිඳියාව ශක්තිමත් කිරීමට විශාල යුග මෙහෙවරක්

08 December 2018

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ තවත් බලාපොරොත්තුවක් ඉටු කරමින් ප්‍රතිසංස්කරණය කෙරුණු ඉරණමඩු ජලාශය ඊයේ (07) පෙරවරුවේ ජනතා අයිතියට පැවරිණි. රටේ ගොවි ජනතාවගේ ජල ගැටලුව විසඳීම තම සංවර්ධන න්‍යාය පත්‍රයේ ප්‍රමුඛ ස්ථානයට පත්කරගත් ජනාධිපතිවරයාගේ පූර්ණ මගපෙන්වීමෙන් මොරගහකන්ද ජලාශයේ ඉදිකිරීම් සමග ආරම්භ කෙරුණු මෙරට වාරි ක්‍රියාන්විතයේ දෙවන පියවර ලෙස උතුරේ විශාලතම ජලාශය වන කිලිනොච්චි ඉරණමඩු ජලාශයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කෙරුණේ 2015 වසරේ දී ය. 1975 වසරෙන් පසුව ජලාශයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරුණු පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයකි. අක්කර 21,000 ක භූමි ප්‍රමාණයක ඉදි කර ඇති ඉරණමඩු ජලාශය මගින් පවුල් 9180 කට සෙත සැලසෙන අතර ප්‍රදේශයේ ගොවි ජනතාවට යල මහ දෙකන්නයේම කිසිදු ගැටලුවකින් තොරව සිය වගා කටයුතු සිදු කිරීමට අවස්ථාව සැලසෙයි. මෙමඟින් ප්‍රදේශයේ පානීය ජල ගැටලුවට ද විසඳුම් හිමි වේ. රුපියල් මිලියන 2000 කට වැඩි වියදමක් දරමින් සිදු කෙරුණු මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය සහ ආසියානු සංවර්ධන බැංකුව මූල්‍ය ප්‍රතිපාදන සපයා ඇත. ජලාශයේ මීට පෙර ධාරිතාව ඝන මීටර් මිලියන් 131 ක් වු අතර, ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව ධාරිතාව ඝන මීටර් මිලියන 148 කි. කිලිනෝච්චි ජනතාවට අතිරික්ත වන ජලය ඉදිරියේ දී යාපනය ජනතාවගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් රැගෙන යාම ද ජනාධිපතිවරයාගේ අපේක්ෂාවයි. ජලාශය ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව ප්‍රථම වතාවට වාන් දැමීමේ අවස්ථාව සිදුවූ අතර ඊයේ පෙරවරුවේ ජලාශ පරිශ්‍රය වෙත ගිය ජනාධිපතිවරයා ජලාශයේ වාන් දොරටු විවෘත කරනු ලැබීය. අනතුරුව ජලාශ පරිශ්‍රයේ නිරික්ෂණ චාරිකාවකට ද එක් වූ අතර එහිදී අදහස් දක්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ ඉරණමඩු ජලාශයෙන් ජලය නිකුත්වීම තමා දකින්නේ උතුරේ සංහිඳියාව ශක්තිමත් කිරීමට සිදු කළ විශාල යුග මෙහෙවරක් ලෙස බවයි. උතුරේ ජනතාවගේ ජීවිත ආලෝකමත් කිරීමට මෙන්ම රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට ද මෙමගින් විශාල ශක්තියක් ලැබෙනු ඇති බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
 

More News..