brand logo

ඉඳහිට දකින ජනප්‍රියම නළුවා

02 November 2019

පසුගිය දා අවසන් වූ සුමති ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රිය නළුවා ලෙස සම්මානයට පාත්‍රවූ සුමිරාන් ගුණසේකර සම්මාන රාත්‍රියෙන් ඉක්බිතිව අප හා පිළිසඳරකට එක්වූ මොහොතේ සම්මානය ජනප්‍රියත්වය හා රංගනය ගැන අප හා මෙලෙස සිය අදහස් පළකර සිටියා. ජනප්‍රියත්වයේ සම්මානය ඔබට දැනෙන්නෙ කොහොමද? එය වාසනාව කැටයම් කරලා ඔප දාලා දෝතට ලැබුණා වගේ හැඟීමක්. ඔබට ලැබුණ මේ ජනප්‍රියත්ත්වයේ සම්මානයේ ගෞරවය මුළුමනින්ම වාසනාවටම පවරා දෙනවාද? අපේ කලාව ගත්තම මේකෙ අයගෙ හැඟීමක් තියෙනව මම මාර පොරක් කියල. එතන හැමෝම ඉන්නව. මම හැම වෙලාවෙම ඉන්නෙ මම පොරක් නෙවෙයි මට වඩා පොරවල් මේක ඇතුළෙ ඕන තරම් ඉන්නව කියලයි. මේ සම්මාන උළෙලේත් ජනප්‍රියම නළුවා කියල වර්ගීකරණයට අයත් වුණ අවසන් දහදෙනාම මට වඩා මාර පොරවල් කියල තමයි මම හිතන්නෙ. එයින් පිටතත් ඉන්නව තව පොරවල්. ඒ පොරවල් අතර සුමිරාන්ට ජනප්‍රියම නළුවා වෙන්න තිබ්බ ලොකුම සාධකය වාසනාව කියලයි මම කියන්නෙ. ලෝකයේ හැම තැනකම ඕන තරම් දක්ෂයො ඉපදිලා කාටත් රහසින් පරවෙලා යනව ද කවුරුවත්  ඒ අය ගැන දන්නෙ නැහැ. ඒ අතරින්  සමහර චරිත ඉදිරියට එනව. ඒ වාසනාව නිසා මේ මොහොතේ මගේ වාසනාව ඉහළම තලයේ තිබුණ නිසා මට මේ සම්මානය ලැබුණා. නළුවෙක් විදිහට ක්ෂේත්‍රයට අවතීරණ වන කල ජනප්‍රියත්වයේ ඉලක්කය ඔබට තිබුණේ නැතිද? ඇත්තම කිව්වොත් ටෙලි නාට්‍යවල රඟපාන්න එනකොට ජනප්‍රියත්වය තමයි මට තිබුණ පළමුවෙනි ඉලක්කය මොකද ජනප්‍රියත්වයට හැම පුද්ගලයෙක්ම ආසයි ආදරෙයි .ඒක මිනිස්සුන්ගෙ තියෙන අතෘප්තිකර ආසාවක් කොච්චර ලැබුණත් මට ඒක මදියි කියල තමයි මිනිස්සු හිතන්නෙ. මටත් ඒ අතෘප්තිකර ආසාව ඒ විදිහටම තිබුණා හැබැයි හිත ඇතු‍ළෙන් ආපහු උත්තරයක් එනව දැන් ජනප්‍රියත්වය තියෙනව. ඇඟට දැනෙන වැඩක් රහ වැඩක්  වෙනස් වැඩක් අමුතු වැඩක් කරන්න ඕන කියල මං හිතනව. ඊළඟ වැඩේ මම තෝරගනිද්දී ඒ හැඟීමට මුල්තැන දෙයි. මේ සම්මානය ඔබේ අනාගත අරමුණුවලට කිසියම් බලපෑමක් ඇති කළාද? ජනප්‍රියත්වයේ සම්මානය කියන එක සතුටක් සහ වචනයෙන් කියන්න බැරි පුදුම ගරුත්වයක්. මොකද ඒ ලැබෙන්නෙ ජනතාවගේ ආදරයනේ. පාර තොටේදි මිනිස්සු ආදරය දෙනව. කතාබහ කරනව. ප්‍රතිචාර ලැබෙනව. නමුත් මේ තරම් ලස්සනට කැටයම් කරලා ඒ ආදරය දෝතට ලැබුණෙ පළමු වතාවට සම්මානයක් කියන්නෙ මාර බරක්. මිනිස්සු අපිට මේ දෙන්නෙ වගකීමක් මේ සම්මානයට සාධාරණීකරණයක් අපි කරන්න ඕනෑ. එහෙම නැතිවුණොත් මිනිස්සුන්ගෙ බලාපොරොත්තු නැතිවෙනව. ජනප්‍රියත්වයත් නැතිවෙනව. අන්තිමේදි සුමිරාන් කියන රංගන ශිල්පියත් මිනිස්සුන්ට අමතක වෙලා යනව. එහෙම තමයි ඔය ලංකාවේ රංගන ශිල්පියො ඇවිත් යන්නෙ. අපේ රටේ ජනප්‍රිය නළුවා හා නිළිය තෝරන්න භාවිත වන ක්‍රමවේදය ගැන  විවේචන පවතිනවා නේද? අපේ රටේ දේශපාලනය වේවා රියැලිටි තරගයක් වේවා ජනප්‍රිය නළුවා නිළිය තේරීම වේවා තෝරාගැනීමට තරගයක්නෙ තියෙන්නෙ මේ තරගයෙදි කිහිප දෙනෙක් මේ තරගයට තරග වදිනව .තරගයකදි තමුන්ට කැමති කෙනා දිනුවෙ නැති වුණහම පරාජය වුණ කෙනාගෙ පැත්තෙ ඉන්න අය දිනන කෙනාට මඩ පහරක් එල්ල කරනව. අනිවාර්යෙන්ම විවිධ මතිමතාන්තර එන්න පුළුවන්. ඒක මේ කනින් අහලා අනිත් කනින් පිටකලහම ඉවරයි. ඒක තමයි ස්වභාවය. හැබැයි ඇත්තටම මම කියනව ජනප්‍රියම නළුවා තෝරන්න මේක නෙවෙයි නියම ක්‍රමවේදය කියල. ජනප්‍රියම නළුවා හෝ නිළිය තෝරන්න මීට වඩා පුළුල් පරිණත විවෘත ක්‍රමවේදයක් තියෙන්න ඕන කියන තැන මාත් ඉන්නව. හැබැයි මේ වගේ ක්‍රමවේදයක් හදල දීලා ඊට පස්සෙ මේ ක්‍රමවේදය ඇතුළෙ කවුරුහරි ජනප්‍රිය නළුවා හෝ නිළිය වුණාට පස්සෙ ඔවුන්ට බණින එකේ තේරුමක් නැහැ. සුමිරාන් ගුණසේකර ජනප්‍රියත්වයේ සම්මානය දෝතට ගන්න මේ මාවතේ කොතරම් දුරක් ඇවිද ආවාද? මම මුලින්ම රූපවාහිනියට එන්නෙ නිවේදකයෙක් විදිහට මගේ පාසල කොළඹ රාජකීය විද්‍යාලය පාසලෙ නවය වසරෙ ඉගෙන ගන්නකොට මම පාසල් විවාද කණ්ඩායමට එකතු වෙනව. ඒ හරහා මට ජාතික රූපවාහිනියෙ ළමා නිවේදකයෙක් විදිහට එන්න වරම් ලැබෙනව. ඒ එක්කම පාසල් කාලයේම ජාතික රුපවාහිනියෙ අනෙකුත් වැඩසටහන් කරන්න ලැබෙනව. මම උදේ හතහමාරට රූපවාහිනියට ඇවිත් වැඩසටහන කරලා විශේෂ අවසරයක් ලබාගෙන මම පාසල් යනව. පාසලෙන් ඉවත් වෙනවත් එක්ක තමයි මට සඳරුවන් ජයවික්‍රම මහත්මයගෙ සුළඟ ටෙලි නාට්‍යයේ පවන් කියන ප්‍රධාන චරිතය ලැබෙනව. ඒ දවස්වල ඒ කියන්නෙ මීට අවුරුදු 10ට කලිනුත් ජනප්‍රිය නළුවා කියන වර්ගීකරණයට මාව ඇතුළත් වෙනව. හැබැයි මගේ අධ්‍යාපන කටයුතු එක්ක මට බැරිවෙනව. රංගනය අඛණ්ඩව කරගෙන යන්න ඒ නිසා මම රංගනයෙන් මදක් ඈත් වෙනව ඔබ ඉඳහිට අපිට දකින්න ලැබෙන නළුවෙක්.   ඔව්. මම මටම ස්වයංවාරණයක් දාගෙන තියෙනව ලැබෙන හැම ටෙලිනාට්‍යයකම රඟපාන්නෙ නැහැ කියන එක. එහෙම කළහම හැමදාම අපේ මුහුණ ටී වී එකේ දකින්න ගත්තට පස්සෙ වටිනාකම නැතිවෙලා යනව. මම එක කාලයක කරන්නෙ එක චරිතයක් විතරයි. එහෙම වුණහම මිනිස්සුන්ගෙ ඔළුවෙ තියෙන්නෙ ඒ චරිතය විතරයි. එතකොට මිනිස්සු පුදුම විදිහට ඒ චරිතයට ආදරය කරනව. එක්කො වෛර කරනව  මොනව කළත් මිනිස්සු එකපාර ඒ චරිතය විතරයි දකින්නෙ. රංගනය වෘත්තිය ලෙස පිළිගත් කෙනෙකුට ඔය ස්ථාවරයේ රැඳීම පහසු කාරණයක්ද? මම ව්‍යාපාරිකයෙක් මම කරන්නෙ ඇඟලුම් සම්බන්ධ ව්‍යාපාරයක්. මේ අතරෙ ඇඟ ඇතුළෙ කැමැත්තක් තියෙනව රඟපාන්න ඕන කියලා. මම හිතනව මේ පසුබිම තුළ යම්තාක් දුරකට මම මිනිසුන්ට සාධාරණයක් කරල තියෙන නිසා මට මේ සම්මානය ගන්න පුළුවන් වුණා. ජනප්‍රිය සම්මානය ගන්නා ඕනම කෙනෙකුගේ හීනය හොඳම නළුවා හෝ නිළිය ඇයි ජනප්‍රියත්වයේ  සම්මානයේ බර අඩුයිද? ඔව් මාත් සම්මාන රාත්‍රියේ එහෙම කිව්වා හොඳම නළුවා වේවා ජනප්‍රියම නළුවා වේවා හොඳම නැගී එන නළුවා වේවා මොකක් වුණත් සම්මානයක වටිනාකම මම තමයි ඒකෙ දෙකක් නැහැ සම්මානයක් ලැබුණම මෙක බර වැඩියි මේක බර අඩුයි කියන්න බැහැ. හැබැයි නළුවෙක් හෝ නිළියක් සම්මානයක් ගන්නකොට ඔහු හෝ ඇයගෙ හිත ඇතුළෙ වැඩි කැමැත්තක් තියෙනව හොඳම නළුවා හා හොදම නිළියට ඒකට  හේතුව මොකක්ද කියල හරියට බෙදල වෙන්කරල කියන්න මට තේරෙන්නෙ නැහැ. ජනප්‍රියම නළුවට පෙරේතයි හැබැයි හොඳම නළුව කියන එකට පෙරේත වැඩියි. සුරංජි පතිරණ
 

More News..