brand logo

ඉන්ධන මිල වැඩිකිරීම දේශීය ආර්ථිකය නංවන වැඩපිළිවෙළක පියවරක්

14 June 2021

ඉන්ධන මිල ගණන් වැඩි කිරීම දේශීය ආර්ථිකය ශක්තිමත් කරන පොදු වැඩපිළිවෙළක එක් ප්‍රධාන සාධකයක් පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එය රටේ බැංකු පද්ධතිය ශක්තිමත් කර අඩු පොලී අනුපාත පවත්වා ගැනීමටත්, විදේශ විනිමය වියදම් අඩු කර විනිමය අනුපාතය ශක්තිමත් කර ගැනීමටත්, ජනතාවගේ සෞඛ්‍යය හා සුබසාධනය සුරක්ෂිත කර ගැනීමටත්, ආනයනය මත රඳා පවතින පරිභෝජන ආර්ථිකය, දේශීය නිෂ්පාදන මත රඳා පවතින ආයෝජන හා පරිභෝජන ආර්ථිකයක් බවට පරිවර්තනය කර ගැනීමට ගත් තීරණයක් බවද නිවේදනයේ දැක්වේ.

ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයේ මෙසේද දැක්වේ. ඉන්ධන මිල ඉහළ දැමීමට ප්‍රධාන හේතු ගණනාවක් පිළිබඳ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්, අගමැති හා අදාළ විෂයභාර ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් පැවති ජීවන වියදම් කමිටුව විසින් අවධානය යොමු කරන ලදී.

බොර තෙල් බැරලයක මිල ඇ.එ.ජ.ඩො.70 ඉක්මවයි

ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල පසුගිය මාස කිහිපය තුළ අඛණ්ඩව ඉහළ යාම ඉන් එක් ප්‍රධාන හේතුවකි. මේ වන විට බොර තෙල් බැරලයක මිල ඇ.එ.ජ.ඩො.70 ඉක්මවා ඇති අතර, එය තවදුරටත් ඉහළ යනු ඇති බව වෙළෙඳපොළ ප්‍රවණතා මගින් පැහැදිලි කරයි. ශ්‍රී ලංකාව ඉන්ධන ආනයන සඳහා අතිවිශාල විදේශ විනිමයක් දරන රටක් පමණක් නොව, එම ආනයනයන් මත රටේ ප්‍රවාහන සේවා, විදුලි බල නිෂ්පාදනය හා ඇතැම් කර්මාන්තශාලා ද පවත්වා ගෙන යන රටක් බවට පත්වී ඇත. 2019 වර්ෂයේ පමණක් තෙල් ආනයනය සඳහා වැය කර ඇති විදේශ විනිමය ඇ.එ.ජ ඩො.මිලියන 3,677කි. වාහන ආනයනය නතර කිරීම හා ජාත්‍යන්තර තෙල් මිල ගණන් 2019 දී බැරලයකට ඇ.එ.ජ.ඩො. 68.80 සිට 2020 දී ඇ.එ.ජ.ඩො. 45.57 දක්වා අඩුවීම නිසා 2020 දී මෙම වියදම ඇ.එ.ජ.ඩො. මිලියන 2,325ට අඩු කර ගැනීමට හැකි වුවද, මේ වන විට පවත්නා මිල ගණන් ඉහළ යාම නිසා 2021 වර්ෂයේ බැරලයක මිල ඇ.එ.ජ.ඩො. 70 ඉක්මවීම තුළ වාහන ආනයනය තහනම පවත්වා ගෙන ගියද, ඛනිජතෙල් ආනයනය සඳහා විදේශ විනිමය ඇ.එ.ජ.ඩො. මිලියන 4,000ක් පමණ වනු ඇත. මෙම වියදම සමස්ත විදේශ විනිමය උපයන අපනයන ආදායමෙන් 1/3කට ආසන්න වියදමකි.

බීජ, පොහොර, ආහාර, ඖෂධ සහ එන්නත් ආදියද, ආනයනය කරන මෙම ආනයන මත රඳා පවතින පරිභෝජන රටාව, නිෂ්පාදනය මත පරිභෝජනය කරන තත්ත්වයට පරිවර්තනය කළ යුතුය.

විදේශ විනිමය වැය කිරීමට අමතරව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පාඩු ලබන ආයතනයක් වශයෙන් පැවතීම නිසා සෑම වර්ෂයකම ලංකා බැංකුවෙන් හා මහජන බැංකුවෙන් ණය මත යැපෙන ආයතනයක් වී ඇත. මෙම බැංකු දෙක සඳහා මේ වන විට රුපියල් බිලියන 652ක ප්‍රමාණයක ණය ගෙවීමට ද ඇත. ලංකා විදුලිබල මණ්ඩලය ද රුපියල් බිලියන 85කට ආසන්න ණය මුදල් බැංකු දෙකට ගෙවීමට සිදු වන බැවින් මේ සඳහා රාජ්‍ය බැංකු දී ඇති ණයවලට භාණ්ඩාගාරය විසින් ඇපකරයන් ද නිකුත් කර ඇති අතර, ණය සඳහා අධික පොලියක් ද ගෙවීමට සිදුව ඇත.

පෞද්ගලික හා පොදු ප්‍රවාහන සේවා සඳහා සියයට 60ක පමණ වන ඉන්ධන භාවිතය අඩු කළ යුතුය. එබැවින් ප්‍රවාහනය සඳහා ELECTRIC රථ වාහන මෙන්ම දුම්රිය සේවා හැකිතාක් දුරට විදුලි බලයෙන් ක්‍රියාත්මක වන සේවාවන් බවට පත් කළ යුතුය. ඛනිජ තෙල්වලින් ධාවනය වන වාහන ආනයනය මුළුමනින්ම නතර කර ELECTRIC රථ වාහන භාවිතය ප්‍රචලිත කිරීමත්, ත්‍රීරෝද රථ සඳහා ELECTRIC එන්ජින් ලබා දීමත් මගින් ප්‍රවාහන පිරිවැය ද ස්ථාවර කර ගත හැකිය.

ඉන්ධන භාවිතය අධික වීම නිසා නාගරික ප්‍රදේශවල වාතය අපිරිසිදු වීමත්, ජනතාවගේ පෙනහළු ආශ්‍රිත රෝග වැඩිවීමත් තුළ පරිසර හිතකාමී බලශක්ති මූලාශ්‍රවලට කඩිනමින් පිවිසීම අනිවාර්ය වේ. කැලණිතිස්ස තෙල් විදුලි බලාගාරය ELECTRIC විදුලි බලාගාරයක් බවට පත් කර ගැනීමෙන්, විදුලිබල මණ්ඩලය විසින් ඉන්ධන සඳහා ගෙවන අධික මිල ද අඩු කර ගත හැකිය. දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දෙන හරිත ආර්ථිකයක් කරා වන ජාතික සංවර්ධන වැඩසටහනට අනුව පොහොර, ඉන්ධන, වන සම්පත්, කැළකසළ ජන ජීවිතයේ ගුණාත්මකභාවය ඉහළ නංවන අයුරින් කළමනාකරණය කළ යුතුය. එබැවින් මිල වැඩි කිරීමට අමතරව, ආනයනික ඉන්ධන මත රඳා පවතින පරිභෝජන රටාව වෙනස් කිරීමට රජය විසින් යෝජනා රැසක් ක්‍රියාත්මක කිරීමට ප්‍රවේශ වී ඇත. ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ජනනය සඳහා සාමාන්‍ය වශයෙන් සියයට 30ක පමණ ඉන්ධන භාවිතා කරන බැවින්, එය වළක්වා ගැනීම සඳහා පුනර්ජනනීය බලශක්ති ජනනය කඩිනම් කිරීමට ද රජය කටයුතු කරමින් සිටී. මේ නිසා සෑම නිවසකටම, පාසල්, රෝහල් හා රජයේ ගොඩනැගිල්ලක් සඳහා සූර්ය තාප විදුලි නිෂ්පාදන කට්ටල ලබාදීම මගින් ජනතාව පිට පැටවෙන අධික මිල ගණන්වල පීඩනය අඩු කිරීම පමණක් නොව, එම විදුලි ඒකක විදුලිබල මණ්ඩලයට ලබාදීම මගින් ආදායම් මාර්ගයක් ද ඇති කළ හැකිය.
 

More News..