brand logo

ඉන්ධන දීමනා ලබාගනිමින් කොමිසමේ වාහනවල යන මැතිවරණ ලොක්කෙක්

14 December 2019

මැතිවරණ කොමිෂන් සභාවේ නිල නිවාසයක පදිංචි වී සිටින එම කොමිසමේ සාමාජිකයෙකු කොමිසමට අයත් වාහන සිය පෞද්ගලික කටයුතු සඳහාද භාවිතා කරමින් මාසයකට දෙගුණයක ඉන්ධන දීමනාවක් ලබා ගන්නා බව අනාවරණය වේ. යාපනය දිස්ත්‍රික්කයේ පදිංචිකරුවකු වන මෙම කොමිෂන් සභා සාමාජිකයා බම්බලපිටිය, ග්ලේන් ආබර් ප්ලේස්හි පිහිටි නිල නිවාසයක 2018 වසරේ සිට පදිංචිව සිටින්නේය. උතුරු නැගෙනහිර ආදී දුර බැහැර ප්‍රදේශවල සිට පැමිණෙන මැතිවරණ කොමිසමේ නිලධාරීන්ට නේවාසික පහසුකම් සපයන ලද නිල නිවාසයේ මෙම සාමාජිකයා පදිංචිව සිටීම නිසා, එම නිලධාරීන්ට පෞද්ගලික ස්ථානවලින් නේවාසික පහසුකම් සපයා ගැනීමට සිදුවී තිබේ. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් කොමිෂන් සභා සාමාජිකයින්ට නිල නිවාස සැපයීම සඳහා බැඳී නැතත්,මැතිවරණ කොමිෂන් සභාවේ ඉහළ අයෙකුගේ අනුමැතිය මත මෙම නිල නිවාසය 2018 වසරේ සිට ලබාදී ඇත. රජයේ නිල නිවාසයක පදිංචිව සිටින රජයේ සේවකයකුගේ වැටුපෙන් සියයට 10 ක් හෝ 12 ක් අයකර ගත්තද, රුපියල් අනූ දහසක (90,000.00) වැටුපක් ලබන මෙම කොමිෂන් සභා සාමාජිකයාගෙන් නිල නිවාසය සඳහා මාසිකව අයකරගනු ලබන්නේ රුපියල් 1500.00 ක නාමික ගාස්තුවක් පමණි. කොමිෂන් සභා සාමාජිකයෙකුට රුපියල් 25,000.00 ක ඉන්ධන දීමනාවක් ලබා දෙන අතර, මෙම කොමිෂන් සභා සාමාජිකයා යාපනයේ පදිංචි අයෙකු බවත්, ඔහුට යාපනයේ සිට කොළඹ, මැතිවරණ කොමිෂන් සභාවට පැමිණීමට සිදුවන බව පවසා කොමිසම විසින් මාසිකව රුපියල් පනස් දහසක (50,000.00) ඉන්ධන දීමනාවක් ගෙවන බවද අනාවරණය වෙයි. නමුත්, මෙම කොමිෂන් සභා සාමාජිකයා සිය පවුලේ සාමාජිකයින්ද සමග බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි නිල නිවසේ පදිංචිව සිට කොමිෂන් සභාවට යාමට සහ ඒමටද, පෞද්ගලික ගමන් බිමන් සඳහාද මැතිවරණ කොමිෂන් සභාවේ වාහන භාවිත කරන බව පැවසේ. කොමිෂන් සභාවක සභාපතිවරයාට පමණක් වාහන ලබාදෙන අතර, විශේෂ රාජකාරි කටයුත්තකට හැර අන් අවස්ථාවලදී කොමිෂන් සභා සාමාජිකයින්ට ආයතනයෙන් වාහන ලබාදීමක් සිදු නොවේ. නමුත්, මෙම කොමිෂන් සභා සාමාජිකයා සිය පෞද්ගලික කටයුතු සඳහාද කොමිෂන් සභාවේ වාහන භාවිත කරන්නේය. සාලිය කුමාර ගුණසේකර
 

More News..