brand logo

ඉන්ධනවලට භූමිතෙල් කලවම් කරලාද?

25 September 2020

ඉන්දියානු ඔයිල් සමාගමට අයත් ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් ලබාගනිද්දී ඒවා මගින් භූමිතෙල් ගඳ වහනය වන බවත් මේ පිළිබඳව වහා පරීක්ෂණයක් පවත්වා පාරිභෝගික ජනතාවට එහි ඇත්ත යුත්ත පැහැදිලි කර දෙන්නැයි දඹුල්ල ප්‍රදේශයේ පාරිභෝගිකයකු දඹුල්ල පොලිසියට සහ පාරිභෝගික අධිකාරියට 24 දා පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. දඹුල්ල ප්‍රදේශයේ පදිංචි සුපුන් ආරියරත්න නමැත්තෙක් මෙම පැමිණිල්ල ඉදිරිපත් කරමින් තමන් දඹුල්ල ප්‍රදේශයේ ඉන්දියානු සමාගමට අයත් ඉන්ධන අලෙවි කරන පිරවුම්හල්වල ඩීසල් ලබා ගැනීමේදී ඒවායේ භූමිතෙල් ගඳ වහනය වූ බව පැවැසීය. මෙම ඉන්ධනවලට භූමිතෙල් කලවම් කර ඇත්දැයි ද්‍රාවණ පරීක්ෂණයක් පවත්වන ලෙස ඒ මහතා බලධාරීන්ගෙන් ඉල්ලීමක්ද කර සිටී. මෙම පාරිභෝගිකයා විසින් කරන ලද පැමිණිල්ල අනුව අපද දඹුල්ල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හල් කීපයකට ගොස් සොයා බැලීමේදී ඒවායේ ඩීසල්වල භූමිතෙල් ගඳ වහනය වන බව පැහැදිලි කරගැනීමටද හැකිවී ඇත. ඇතැම් ඉන්ධන පිරවුම්හල් කළමනාකරුවන් පැවැසුවේ ඒවායේ ඩීසල්වල භූමිතෙල් ගඳ වහනය නොවන බවය. කෙසේ වෙතත් ඉන්ධන ලබාගැනීම සඳහා පැමිණි බොහෝ දෙනෙක්ම ඩීසල් තම නහය ආසන්නයට ස්පර්ශ කොට භූමිතෙල් ගඳ වහනය වන බව පැවැසූහ. ඉන්ධන පිරවුම් හලක සේවිකාවක පැවැසුවේ ඇතැම් ටිපර් රථ, ලොරි රථ සහ බස් රථවලින් පිටත ප්‍රදේශවලින් භූමි තෙල් රැගෙන විත් තම ඉන්ධන පිරවුම්හලට පැමිණ ඩීසල්වලට කලවම් කරන සිද්ධියක් අත්දුටු බවය. කෙසේ වෙතත් මෙම සිද්ධීන් සම්බන්ධයෙන් දඹුල්ල මූලස්ථාන පොලිසිය විමර්ශනයක් ආරම්භ කොට ඇතැයි මූලස්ථාන පොලිස් පරීක්ෂක එස්. පී. එදිරිසිංහ මහතා පැවැසීය. මාතලේ පාරිභෝගික අධිකාරියේ ප්‍රධානියෙක් වූ රේණුක කුමාර මහතාගෙන් විමසීමේදී කියා සිටියේ එවැනි පැමිණිල්ලක් මේ වන විට තමා ලැබී ඇති බවය. කෙසේ වෙතත් කඩිනමින් ඒ පිළිබඳව සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන බවද ඒ මහතා සඳහන් කළේය. ලක්ෂිත සංදීප ආරියදාස - දඹුල්ල
 

More News..