brand logo

ඉන්දීය අගමැතිගෙන් මහින්දට ආරාධනාවක්

10 August 2020

අලුතින් වැඩිදියුණු කරන ලද කුෂිනගර් ගුවන්තොටුපළ වෙත පළමු ජාත්‍යන්තර ගුවන් යානය ගොඩබැස්වීමට ශ්‍රී ලංකාවට ආරාධනා කරන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ පණිවුඩයක් දැනුම් දෙමින් ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ අගමැති මහින්ද රාජපක්ෂ වෙත පවසා සිටියේය. මහ කොමසාරිස්වරයා මෙම ආරාධනය සිදුකළේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලද ජයග්‍රහණයෙන් පසු සිය සුබ පැතුම් ප්‍රකාශ කිරීමට පෙරේදා (8 වැනිදා) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී අගමැතිවරයා හමු වූ අවස්ථාවේදීය. අගමැති මෝදි බුදදහම ප්‍රවර්ධනය කිරීමට උනන්දුවක් දක්වන බවත්, සංචාරක ක්ෂේත්‍රයේ පමණක් නොව පුරාවිද්‍යාව වැනි වෙනත් අංශවල ද, ඒ හා සම්බන්ධ ව්‍යාපෘති ආරම්භ කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇති බවත් මහ කොමසාරිස්වරයා පැවසීය. මේ වන විට පුද්ගලයන් දහඅට දෙනෙකු ජීවීතක්ෂයට පත්ව ඇති එයාර් ඉන්දියා අනතුරින් පීඩාවට පත් වූ සියලු දෙනාට අගමැති රාජපක්ෂ මෙම අවස්ථාවේදී සිය ශෝකය ප්‍රකාශ කළේය. දැනට ක්‍රියාත්මක ව්‍යාපෘතිවලට අමතරව ජලය සහ සනීපාරක්ෂාව වැනි ක්ෂේත්‍ර සඳහා ශ්‍රී ලංකාවට සහාය වීමට ඉන්දියාව ද සතුටු වන බව මහ කොමසාරිස් බග්ලේ පැවසීය. අවසාන ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කිරීමටත් පෙර අගමැති මෝදිගේ දුරකථන ඇමතුම ලැබීම සතුටට කරුණක් බවද අගමැති රාජපක්ෂ මෙහිදී සඳහන් කළේය. අගමැතිවරයාගේ ජයග්‍රහණය හිරු උදා වනවා සේ විශ්වාස බව සඳහන් කළ ඉන්දීය මහ කොමසාරිස්වරයා වැඩිදුරටත් පවසා සිටියේ අගමැතිවරයාගේ ආශිර්වාදය ඇතිව ඉදිරියට යාමට බලාපොරොත්තු වන බවයි.    
 

More News..