brand logo

ඉන්දියාව පරදවා නවසීලන්තය පළමු එක්දින තරගය ජයගනී

06 February 2020

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය කඩුළු 4කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්ව තිබේ. මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත පිල පළමු පන්දු රැකීමට තීරණය කළේය. ඒ අනුව මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුළු 4ක් දැවී ලකුණු 347ක් රැස්කර ගැනීමට සමත් විය. ඉන්දීය පිල වෙනුවෙන් පන්දුවට පහරදීමේදී ශ්‍රීයාස් අයියර් සිය එක්දින ක්‍රිකට් දිවියේ මංගල ශතකය වාර්තා කරමින් ලකුණු 103ක් රැස්කර ගත්තේය. ඊට හයේ පහරක් සහ හතරේ පහර 11ක් ද ඇතුළත් වේ. ඊට අමතරව කේ.එල්. රාහුල් ලකුණු 88ක් රැස්කර ගත් අතර, නායක විරාට් කෝලි ලකුණු 51ක් රැස්කර ගැනීමට සමත් විය. පන්දු යැවීමේදී නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් ටිම් සවුති කඩුළු දෙකක් දවාගත් අතර, කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් සහ ඉෂ් සෝඩි එක් කඩුල්ල බැගින් දවාගත්තේය. අනතුරුව පන්දුවට පහරදීමට පිටියට පැමිණි නවසීලන්ත පිල පන්දුවාර 48යි එක්පන්දුවකදී කඩුළු 6ක් දැවී ලකුණු 348ක් රැස්කරගෙන තරගයේ ජය වාර්තා කිරීමට සමත්විය. නවසීලන්ත පිල වෙනුවෙන් රොස් ටේලර් නොදැවී ලකුණු 109ක් ලබාගත් අතර, එය ඔහු විසින් වාර්තා කළ 21වන ශතකය ද වේ. මීට අමතරව හෙන්රි නිකලස් ලකුණු 78ක් සහ නායක ටොම් ලේතම් ලකුණු 69ක් රැස්කර ගැනීමට සමත් විය. පන්දු යැවීමේදී ඉන්දීය පිල වෙනුවෙන් කුල්දීප් යාදේව් කඩුළු දෙකක්, මොහොමඩ් ෂමී සහ ශර්දුල් ටාකූර් එක් කඩුල්ල බැගින් දවාගත්තේය. ඒ අනුව තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ ජය නවසීලන්තයට හිමිවිය.
 

More News..