brand logo

ඉන්දියාවේ උපදෙස් මත දෙමළ සන්ධාන සහාය එජාප අපේක්ෂකයාටයි

15 August 2019

ඉන්දීය දේශපාලනඥයන්ගේ උපදෙස් මත දෙමළ ජාතික සන්ධානය ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා වෙනුවෙන් සහයෝගය ලබාදීමට තීන්දු කරන බව වන්නි පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් පවසයි. දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් ප්‍රතිකාර ලබාගැනීමට ඉන්දියාවට යන බව පැවසුවද ඔහු එහි ගොස් ඉන්දීය දේශපාලනඥයන්ගේ උපදෙස් ලබාගෙන ඇතැයි ආනන්දන් කියයි. ඉදිරි ජනාධිපතිවරණයේදී දෙමළ දේශපාලනඥයන්ගේ තීරණය සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී මන්ත්‍රීවරයා එලෙස පැවසීය. දෙමළ ජාතික සන්ධාන නායකයන් එදා මෙදා තුර කාලයේ ඉන්දියාවේ උපදෙස් අනුව ක්‍රියා කළ බවත්, තම පක්ෂයද දෙමළ ජාතික සන්ධානය තුළ සිටි අවධියේ අදාළ කාරණා සම්බන්ධයෙන් ඉන්දියාවෙන් අවබෝධය ලබාගත් බවත් හෙතෙම පැවසුවේය. සුළු ජාතීන්ගේ සිත් දිනාගන්නා නායකයා මෙවර ජනාධිපති වන බවත්, ගෝඨාභය රාජපක්ෂ හා එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා වෙනුවෙන් දකුණේ සිංහල ඡන්ද සම සමව හිමිවනු ඇති බවටත් තමන් විශ්වාස කරන බව ආනන්දන් කියයි. සුළු ජාතීන්ගේ ඡන්දයේ වටිනාකම සම්බන්ධයෙන් ජනාධිපති අපේක්ෂකවරුන් සිතා බලා කටයුතු කිරීම හමුවේ එම අපේක්ෂකවරුන්ගේ ජයග්‍රහණය තහවුරු වන බවද ආනන්දගේ අදහස වී තිබේ. දෙමළ ජාතික සන්ධානය සමග සන්ධානගතව සිටි ඊ.පී.ආර්.එල්.එෆ්. පක්ෂය දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වීමෙන් අනතුරුව ඊ.පී.ආර්.එල්.එෆ්. පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් මේ වන විට පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරයි. මාධව කුලසූරිය
 

More News..