brand logo

ඉන්දියාවට ලකුණු 142ක ඉලක්කයක්

08 January 2020

ඉන්දියාව සමගින් පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ඉන්දෝර්හි හොල්කාර් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඊයේ (7 වැනිදා) පැවැති තෙවැනි තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 09ක් දැවී ලකුණු 142ක් රැස්කර ගත්තේය. ශ්‍රී ලංකා ඉනිමේ අග භාගයේදී තරගයක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ඒමට වෙහෙස වූ ධනංජයද සිල්වා ලකුණු 17ක් සහ වනිදු හසරංග ​ෙනාදැවී ලකුණු 16ක් රැස්කරගෙන සිටියේය. එහිදී වනිදු විසින් ජස්ප්‍රිට් බුම්රා එවූ තරගයේ අවසන් පන්දු තුනට පිට පිට හතරේ පහර තුනක් එල්ල කිරීම කැපී පෙනුණි. ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් වූ කුසල් පෙරේරා හයේ පහර තුනක් සමගින් පන්දු 28කදී ලකුණු 34ක් රැස්කර ගත්තේය. මුළු ලකුණු සංඛ්‍යාව 97ක් වනවාත් සමගම කුල්දීප් යාදෙව් එවූ පන්දුවකට ශිකර් ධවාන් වෙත උඩ පන්දුවක් ලබාදීමෙන් කුසල් පෙරේරාගේ දැවීයාම සටහන් විය. ඊයේ සිව්වැනි සහ පස්වැනි පිතිකරුවන් ලෙසින් පිටියට පිවිසි ඕෂධ ප්‍රනාන්දුට සහ භානුක රාජපක්ෂට එතරම් සාර්ථක වීමට ඉන්දීය පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් හිමි නොවූ අතර ඔවුන් පිළිවෙළින් ලකුණු 10ක් සහ 9ක් රැස්කරගෙන සිටියේය. කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක විරාට් කෝලිගේ ඇරයුමෙන් ශ්‍රී ලංකා පිලට පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව උදාවිය. ඒ අනුව පිටියට පිවිසි ධනුෂ්ක ගුණතිලක සහ අවිශ්ක ප්‍රනාන්දු පළමු කඩුල්ල සඳහා ලකුණු 38ක සබඳතාවක් පිහිටුවීය. ශ්‍රී ලංකා ඉනිමේ ක්‍රියාත්මක 4 වැනි පන්දුවේදී වොෂින්ටන් සුන්දර් එවූ පන්දුවකට මිඩ් ඕෆ් දෙසට එල්ල කළ පහර නව්දීප් සයිනි උඩ පන්දුවක් ලෙසින් රැකගැනීමෙන් අවිශ්කගේ ඉනිම නිමාවිය. පන්දු 16කට මුහුණ දී සිටි අවිශ්ක ලකුණු 22ක් රැස්කරගත් අතර ඒ සඳහා හතරේ පහර 5ක් එක්කොට තිබිණි. එක් අන්තයකින් කඩුල්ලේ ස්ථාවර වීමේ උත්සාහයක නිරත ධනුෂ්ක ගුණතිලක පැයට කිලෝමීටර් 147.5 ක වේගයකින් නව්දීප් සයිනි එවූ පන්දුව හමුවේ සම්පූර්ණයෙන්ම පරාජය විය. පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදීම හේතුවෙන් ධනුෂ්කගේ ඉනිම නිමාවන විට හතරේ පහර තුනක් සමගින් පන්දු 21කදී ලකුණු 20ක් රැස්කරගෙන සිටියේය. ලකුණු සාරාංශය ශ්‍රී ලංකාව පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 142යි. (අවිශ්ක ප්‍රනාන්දු 22, ධනුෂ්ක ගුණතිලක 20, කුසල් පෙරේරා 34, ඕෂධ ප්‍රනාන්දු 10, භානුක රාජපක්ෂ 9, දසුන් ශානක 07, ධනංජය ද සිල්වා 17, වනිදු හසරංග (නොදැවී) 16, ඉසුරු උදාන 1, ලසිත් මාලිංග 0, ළහිරු කුමාර (නොදැවී) 0, නව්දීප් සයිනි 2/18, වොෂින්ටන් සුන්දර් 1/29, කුල්දීප් යාදෙව් 2/38, ජස්ප්‍රිට් බුම්රා 1/32, ශර්දුල් තාකූර් 3/23 )
 

More News..