brand logo

ඉන්දියාවට කොරෝනා පාලනය කර ගන්න බැරි ඇයි?

21 September 2020

ඉන්දියාව තුළ මේ වනවිට ඇත්තේ අධිවේගී වසංගතයක් යයි කිවහොත් එය අතිශයෝක්තියක් නොවනු ඇත. අප්‍රේල් මාසය තුළ දිනක දී වාර්තා වූයේ කොරෝනා වයිරස ආසාදිතයන් සාමාන්‍ය වශයෙන් 62ක පමණ සංඛ්‍යාවක් වුවත් සැප්තැම්බර් මාසය වෙද්දී දිනක් තුළ වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාවෙහි සාමාන්‍යය 87,000ක් දක්වා ඉහළ ගොස් තිබේ. වසංගතය පැතිරෙමින් ඇති වේගය තේරුම් ගැනීමට මෙය හොඳටම ප්‍රමාණවත්ය. මේ වනවිට ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් ගණන ලක්‍ෂ 54 ඉක්මවා තිබේ. එරට ආසාදිතයන් පළමු මිලියනය වාර්තා වීමට දින 170ක් එනම් මාස 5 කට වැඩි කාලයක් ගත වී තිබිණි. නමුත් අවසන් මිලියනය වාර්තා වීමට ගත වී තිබුණේ දින 11ක් වැනි කෙටි කාලයක් පමණි. මේ වෙද්දී දිනක් තුළ හමු වන ආසාදිතයන් ගණන බොහෝ විට 90,000 ඉක්මවා යන ආකාරය දැකිය හැකි වේ. ලෝකයේ ආසාදිතයන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන රටවල් අතර ඉන්දියාව දෙවැනි තැන පසුවීමද තවත් විශේෂත්වයකි. පළමු ස්ථානයේ සිටින්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. මේ අතර ඇතැම් වසංගතවේදීන් ඉන්දියාවේ සැබෑ තත්ත්වය සම්බන්ධයෙන් පෙන්වා දෙන්නේ මීටත් වඩා බිහිසුණු චිත්‍රයකි. ජනතාව අතරින් තෝරාගත් නියැදි මත පසුගිය මැයි මාසයේ සිදු කරන ලද ප්‍රතිදේහ පිළිබඳ පරීක්‍ෂාවන් (PCR) හරහා අනාවරණය වී තිබුණේ ඒ වෙද්දී රට තුළ ආසාදිතයන් මිලියන 6.4ක් පමණ සිට ඇති බවය. නමුත් එම මාසය වන විට නිල වශයෙන් ප්‍රකාශයට පත්ව තිබූ ආසාදිතයන් ගණන 52,000ක් පමණක් විය. මෙය ඉතා විශාල පරතරයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. මේ අතර ඇමරිකාවේ මිචිගන් විශ්වවිද්‍යාලයේ ජෛව සංඛ්‍යානය සහ වසංගතවේදය පිළිබඳ මහාචාර්යවරියක වන බ්‍රාමර් මුඛර්ජි වඩාත් බරපතළ කතාවක් පවසයි. ඇය පවසන්නේ තමාගේ ගණනය කිරීම්වලට අනුව මේ වනවිට ඉන්දියාවේ සැබෑ ආසාදිතයන් ගණන මිලියන 100 ක් (කෝටි 10ක්) පමණ විය හැකි බවයි. ඉන්දියාව තුළ මෙවැනි බිහිසුණු තත්ත්වයක් ඇති වූයේ ඇයි? මේ බොහෝ දෙනෙකු තුළ මහත් කුතුහලයක් ඇති කර තිබෙන ප්‍රශ්නයක් බව රහසක් නොවේ. මේ තරම් ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වීමට එක් හේතුවක් ලෙස පෙන්වා දෙන්නේ එරට තුළ ආසාදිතයන් හඳුනාගැනීම සඳහා කරන පරීක්‍ෂාවන් සංඛ්‍යාව ඉතා ඉහළ අගයක් ගැනීමයි. වාර්තා වන අන්දමට දිනක් තුළ කරන පරීක්‍ෂාවන් ගණන මිලියනයක් පමණ වේ. එහෙත් ජනගහනයට සාපේක්‍ෂව ගත් කළ මෙම පරීක්‍ෂාවන් ප්‍රමාණය ලෝකයේ බොහෝ රටවල අනුපාතයන්ට වඩා අඩු මට්ටමක පවතී. එරට සැබෑ ආසාදිතයන් ගණන නිල වශයෙන් ප්‍රකාශ වන ගණනට වඩා බෙහෙවින් වැඩි විය හැකි බවට අදහස් පළවන්නේද මෙම තත්ත්වය තුළය. වසංගතය රට පුරා ව්‍යාප්ත වීමට බලපෑ තවත් හේතුවක් ලෙස ඇතැම් විශේෂඥයන් පෙන්වා දෙන්නේ මුල් කාලයේ රට අගුළු දැමීමේ ක්‍රියාවලියෙහි පැවැති ගැටලුයි. මුළු රටම එකවර අගුළුලෑම වැරදි පියවරක් බව ඔවුන්ගේ අදහස වී තිබේ. මේ නිසා රටේ සෑම තැනම නගරවල සිර වූ ජනතාව, සිය රැකියාවන් කිරීමටද නොහැකි වූ තත්ත්වය තුළ ලක්‍ෂ ගණනින් සිය ගම්බිම් බලා යාමට පටන් ගත්හ. මේ නිසා සිදු වූයේ මුල් කාලයේ නගරවල පැතිරෙමින් තිබූ වයිරසය මෙම සංක්‍රමණිකයන් සමග ගම්බිම් බලාද සේන්දු වීමයි. මේ වන විට ඉන්දියාවේ ගම්බද ප්‍රදේශවල වසංගතය වේගයෙන් පැතිරෙන්නට පටන් ගෙන ඇත්තේ මෙහි ප්‍රතිඵලයක් ලෙස බව වසංගතවේදීන්ගේ අදහසයි. ඔවුන් බොහෝ දෙනෙකු පවසන්නේ මුළු රටම එකවර අගුළුලෑමකට ලක් නොකර ඒ වන විට වයිරසය පැතිරෙමින් තිබූ ප්‍රදේශ පමණක් වසා දමා, වඩාත් කාර්යක්‍ෂම ආකාරයෙන් එය කළමනාකරණය කළ යුතුව තිබූ බවයි. එසේ වූවානම් මෙතරම් ජනකායක් ගම්බිම් කරා ගමන් නොකිරීමට ඉඩ තිබූ බවත්, වසංගතයේ පැතිරීම මීට වඩා අඩු වීමට ඉඩ තිබූ බවත් ඔවුහු පෙන්වා දෙති. ලෝක බැංකුවේ හිටපු ආර්ථික විද්‍යාඥයකු වන කෞෂික් බාසු පවසන්නේ මෙයින් සිදු වූයේ වයිරසය වැඩි වැඩියෙන් පැතිරී යාම සහ ආර්ථිකයට විශාල හානියක් සිදුවීම පමණක් බවය. ‘මෙම අගුළු ලෑමෙන් සිදු වූයේ අගුළු ලෑමකදී සිදු නොවිය යුතුම දේයි. අති විශාල ජනතාවක් රට පුරා එහා මෙහා ඇවිදින තත්ත්වයක් ඇති වුණා. ඔවුන්ට වුවමනා වුණේ සිය ගෙවල් දොරවල් කරා ළඟා වීමටයි. මේ අයට වෙන විකල්පයක් තිබුණෙ නැහැ. කෙසේ හෝ වේවා, මෙම අගුළු ලෑමේ ප්‍රතිඵලයක් හැටියට වයිරසය දිගටම පැතිරෙන්නට වුණා වගේම ඉන්දියාවේ ආර්ථිකයටත් දැඩි හානියක් සිදු වුණා’ කෞෂික් බාසු පවසයි. කෙසේ නමුත් මෙම මතයට හැම දෙනාම එකඟ වන්නේ නැත. ඇතැම් විශේෂඥයන් පෙන්වා දෙන්නේ මුළු රටම වසා දැමීම නිසා ජීවිත රැසක් බේරා ගැනීමට හැකි වූ බවය. එමෙන්ම රටේ සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කර ගැනීමටත්, වයිරසය ගැන වඩා හොඳින් තේරුම් ගැනීමටත් මේ නිසා කාලය ලැබුණු බව මෙම විශේෂඥයෝ පෙන්වා දෙති. ජනතාව සෞඛ්‍යාරක්‍ෂක පිළිවෙත් නිසි පරිදි අනුගමනය නොකිරීමද වසංගතය මේ ආකාරයෙන් පාලනයෙන් ගිලිහෙන්නට එක් හේතුවකි. සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම, මුඛ ආවරණ පැලඳීම වැනි පියවර අනුගමනය කිරීමට ජනතාව ඒ හැටි උනන්දුවක් නොදක්වන බවට චෝදනා එල්ල වෙයි. වසංගතය නිසා පනවා ඇති සීමාවන්ගෙන් ජනතාව මේ වන විට දැඩි වෙහෙසට පත්ව සිටින ආකාරයක්ද පෙනී යන බව නිරීක්‍ෂකයන්ගේ අදහසයි. කොවිඩ් වසංගතය මොන තරම් දරුණු ආකාරයෙන් පැතිරුණද නැවතත් රට වසා දැමීම වැනි පියවර ගැනීම ඉතා අපහසු වී තිබේ. මන්ද යත් ඉන්දියානු ආර්ථිකය මෑත ඉතිහාසයේ දරුණුම අර්බුදයට මුහුණ දෙමින් සිටින බැවිනි. මේ නිසා ආර්ථික අර්බුදය සහ සෞඛ්‍ය අර්බුදය එකවර කළමනාකරණය කිරීමේ දැවැන්ත අභියෝගයකට ඉන්දියානු රජය මුහුණ දී සිටියි. ශීත සෘතුව ළඟා වෙමින් තිබීමද එරට බලධාරීන් තුළ නොසන්සුන් බවක් ඇති කරන තවත් කාරණයක් වී තිබේ. ශීත සෘතුවේදී පරිසරයේ උෂ්ණත්වය පහත වැටීමත් සමග නැවතත් දරුණු ආකාරයේ කොවිඩ් රැල්ලක් බොහෝ රටවල පැන නැගිය හැකි බවට වසංගතවේදීහු දැඩි ලෙස අනතුරු අඟවමින් සිටිති. ඉන්දියාවද මෙවැනි රැල්ලක ගොදුරක් වුවහොත් එය කොතැනින් කෙළවර වනු ඇත්ද යන්න සිතාගැනීම අපහසුය. සහන් වික්‍රමගේ  
 

More News..