brand logo

ඉන්දියානු සිනමාවට ගිහින් ආත්මය විකුණන්නේ නැහැ

05 August 2021

ඇය නිරංජනී ෂන්මුගරාජා. ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනූ දමිළ නිළියක්. කොවිඩ් වසංගතය වෙනුවෙන් රට වසා දමන විට ඇගේ ‘සුනාමි’ චිත්‍රපටය සාර්ථක ලෙස තිරගත වුණා. නමුත් කොවිඩ් තත්ත්වයත් සමග නිරංජනීට මොකද වුණේ... ඇය ඉන්දියාවේ රඟපාන්න ගියා කියලා සමහරු කියනවා. අපි නිරංජනී ෂන්මුගරාජා ගැන සොයා බැලුවා....

මේ දිනවල මොකද කරන්නේ?

මාස ගාණක් ගෙදරට කොටුවෙලා. කරන්න දෙයක් නැහැ. නුවරට වෙලා අක්කගේ දරුවෝ බලාගෙන ඉන්නවා.

ඒ කියන්නේ ලොකු ආර්ථික ප්‍රශ්න ඇති නේද?

කොළඹ උන්න නම් ජීවත් වෙන්න බැහැ. මොකද වතුර ටිකත් සල්ලිවලටනේ. මෙහේ කොසුයි, පොලුයි කාලා හරි ඉන්න පුළුවන්.

මම මහ ලොකු පොෂ් නිළියක් නෙවේ

නිළියකට එහෙම පුළුවන්ද...

මම මහ ලොකු පොෂ් නිළියක් නෙවේ. ගමේ උන්නත්, කොළඹ උන්නත් මම මහ පොළොවේ උන්න සාමාන්‍ය කෙල්ලෙක්. ඉතින් මට තියෙන දෙයක් කාලා වැටිලා ඉන්න පුළුවන්.

ළඟදි චිත්‍රපටයක් කළේ නේද?

සංජය නිර්මාල්ගේ දැවැන්ත චිත්‍රපටයක වැඩ නිම කළා. මේක ලංකාවට කතෝලික ආගම පැමිණීම ගැන ඓතිහාසික කතාවක්. කවදා පෙන්වන්න වෙයිද දන්නෙ නැහැ.

‘සුනාමි’ චිත්‍රපටයට මොකද වෙන්නේ...

හිතාගන්න බැහැ. මේ දවස්වල සුනාමි ඔස්ට්‍රේලියාවේ සාර්ථකව තිරගත වෙනවා. මටත් ඔස්ට්‍රේලියාවේ ප්‍රේක්ෂකයෝ කතා කරනවා.

එතකොට ආයේ ලංකාවේ තිරගත වෙන එකක් නැද්ද?

හිතාගන්න අමාරුයි. මේ දවස්වල ලංකාවේ චිත්‍රපට අන්තර්ජාලයේ තිරගත කරන ආකාරය ගැන කතිකාවක් යනවා. අනාගතයේ එහෙම දෙයක් නොවුණොත් මේ චිත්‍රපට පෙන්වන්නේ කොහොමද?

අන්තිමට බලපු චිත්‍රපටය මොකක්ද?

ධනුෂ්ගේ අලුත්ම චිත්‍රපටය බැලුවා. නියමයි.

ඒ අය බලාපොරොත්තු වෙන තව තවත් දේවල් නිසා මට ඒ ආරාධනා ප්‍රතික්ෂේප කරන්න වුණා

ඔබට ඉන්දියානු සිනමාවෙන් රඟපාන්න ආරාධනා ලැබුණේ නැද්ද?

ආරාධනා කීපයක් ලැබුණා. නමුත් ඒ අය බලාපොරොත්තු වෙන තව තවත් දේවල් නිසා මට ඒ ආරාධනා ප්‍රතික්ෂේප කරන්න වුණා.

ඉන්දියානු දෙමළ සිනමාවේ අධ්‍යක්ෂවරු ලිංගික අල්ලස් ඉල්ලනකොට මම කොහොමද හිතට එකඟව රඟපාන්නේ

ඒ කියන්නෙ...

ටැමිල් ගර්ල් කෙනෙක් වෙලත් ලංකාවේ සිනමාවේ මට කිසිම කෙනෙක් අයුතු යෝජනා කරලා නැහැ. නමුත් ඉන්දියානු දෙමළ සිනමාවේ අධ්‍යක්ෂවරු ලිංගික අල්ලස් ඉල්ලනකොට මම කොහොමද හිතට එකඟව රඟපාන්නේ... මම මගේ ආත්මගරුත්වය විකුණන්නේ නැහැ.

ඔබ ප්‍රතික්ෂේප කළාද?

මගේ රටේ මිනිස්සු මට ජාති භේදයකින් තොරව ආදරය කරනකොට ජාත්‍යන්තර සම්මාන ලැබෙනකොට ඇයි විකිණෙන්නේ? මට මගේ රට ඇතුළේ තියෙන ගරුත්වය ඇති.

නමුත් දෙමළ නිළියකට කොලිවුඩය කියන්නේ හොඳ අවස්ථාවක්...

ඔව්, මගෙත් කාලෙක එහෙම හීනයක් තිබුණා. ලංකාවේ දෙමළ ප්‍රේක්ෂකයෝ ලංකාවේ දෙමළ නිර්මාණ බලන්නේ නැහැ. ඔවුන් බලන්නේ ඉන්දියානු නිර්මාණ. මගේ හිතෙත් ලොකු කැමැත්තක් තිබුණා දෙමළ චිත්‍රපටයක රඟපාන්න. නමුත් අයුතු යෝජනා එනකොට හරිම අප්පිරියයි. මම හිතාගත්තා මගේ නම ලංකාවේ හදාගන්නවා කියලා.

ඔබ වෘත්තීය මට්ටමේ නිළියක්ද?

මම වෘත්තීය නිවේදිකාවක්. නමුත් ඒ තරමටම රඟපෑමටත් කැමැතියි.

මුලින්ම රඟපෑවෙත් ප්‍රධාන චරිතයක්ද?

මාව මුලින්ම ‘ඉනිඅවන්’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට තෝරාගත්තේ. නමුත් මගේ ප්‍රමාදයක් නිසා ඒ චරිතය අහිමි වෙනවා. පස්සේ මම ඒ චරිතය ඉල්ලගෙන එනකොට වෙන කෙනෙක් අරගෙන.

ඊට පස්සේ...

මගේ හිත සනසගන්න කියලා හිතාගෙන හඳගමයන් මට සෙකන්ඩ් රෝල් එක දුන්නා. නමුත් ඒ චරිතය උපරිමයෙන් කළා.

ඔබ සෑහීමකට පත්වුණාද?

ඇයි නැත්තේ... මම රඟපාපු දෙවැනි ප්‍රධාන චරිතයට ඒ අවුරුද්දේ හොඳම නිළියගේ සම්මානය ලැබුණා. දෙයක් උපරිමයෙන් කිරීමේ ප්‍රතිඵලය එදා මම අත්වින්දා.

ඔබ කොළඹ නොවේද?

නැහැ, මම නුවර.

නිළියක් වෙන්නද හීන දැක්කේ...

අපෝ නැහැ. හැම වෙලාවෙම මගේ කැමැත්ත වෙනස් වෙනවා. අද ඉංජිනේරුවෙක් වෙන්න හිතුවොත් පහුවදා කල්පනා කරන්නේ ගුරුවරියක් වෙන්න. මගේ කැමැත්ත හැම මෙහොතකම වෙනස් වෙනවා.

ඔබ සිංහල දේවල්වලට හුඟක් කැමතියි නේද?

ඔව්, මොකද මගේ ආත්තම්මා සිංහල. ඇයට මම පුදුමාකාර විදිහට ආදරේ කළා. දළදා මාලිගාවට කොටි බෝම්බ ගැහුව දවසේ ආත්තම්මා හොඳටම අඬනවා. මම ආත්තම්මව සනසන්න හිතාගෙන මෙහෙම කියනවා. ‘මම ලොකුවෙලා ආමි එකට ගිහින් ඔක්කොම කොටි මරණවා.’

ඒ දවස්වල ටීවී බැලුවද?

ඇයි නැත්තේ... වෙද හාමිනේ, රතු රෝස, දූ දරුවෝ වගේ නාට්‍ය හරිම කැමැත්තෙන් බැලුවේ.

එතකොට නිළියක් වෙන්නේ...

කොළඹ එන්නේ කිසිම අදහසක් නැතිව. නමුත් රූපවාහිනියේ නිවේදිකාවක් වෙනවා. ලොතරැයි වැඩසටහන් කරන්න අවස්ථාව ලැබෙනවා. අදටත් මම ඒ දේවල් අත්හැරලා නැහැ.

එතකොට රඟපාන්නේ?

යොවුන් නාට්‍ය උළෙලේ සිංහල හා දෙමළ කතා කරන්න පුළුවන් නිළියක් හොයනවා කියන ආරංචියට ගියේ. කොහොම හරි අවස්ථාව ලැබුණා.

රඟපානවා කියලා දැනගත්තොත් අම්මා මාව මරණවා කියලා දන්නවා

දෙමළ යුවතියක් කියන්නේ නීති මාලාවක් මැද්දේ හැදිච්ච කෙනෙක් නේද?

රඟපානවා කියලා දැනගත්තොත් අම්මා මාව මරණවා කියලා දන්නවා. ඒක නිසා හොරෙන් තමා රඟපෑමේ කටයුතුවලට සම්බන්ධ වුණේ.

එතකොට ඉනිඅවන් හා එකතු වෙන්නේ...

මම මුලදිම කිව්වේ මගේ ප්‍රමාදය නිසා මට ප්‍රධාන චරිතය අහිමි වුණා කියලා. මුලදී අම්මට තියෙන බය නිසා මේ චරිතය කළේ නැහැ.

ඊට පස්සේ...

මට හිතුණා මට මම කරගන්නේ අපරාධයක් කියලා. අශෝක හඳගමගේ ෆිල්ම් එකක් මිස් කරගන්නේ කොහොමද? මම බය පැත්තකින් තියලා ලැබුණු චරිතය කරන්න හිතාගත්තා. කොහොම හරි ෂූටින් වැටුණේ යාපනේ.

කොහොමද ගෙදරට හොරෙන් යන්නේ?

කොහොම යන්නද.. අම්මට ඇත්ත කිව්වා. අම්මා ගේ ඇතුළට ගිහින් පිහිය අරගෙන ආවේ උඹව මරණවා කියලා.

බය හිතුණෙ නැද්ද?

මම බය පැත්තකට දාලා කතා කළා. මම කිව්වා චිත්‍රපටයේ ගිවිසුම් අත්සන් කරලා ඉවරයි, අයින් වෙනවා නම් ලක්ෂ 25ක් ආපහු දෙන්න වෙනවා කියලා. අම්මා බය වුණා.

වේදිකා නාට්‍යයට මොකද වුණේ?

ඒකත් රඟපෑවා. මම හිතන්නේ අවුරුදු 35ක යෞවන නාට්‍ය උළෙලේ අවසාන තරගයේ සිංහල වේදිකා නාට්‍යයක රඟපාපු දෙමළ නිළිය හොඳම නිළිය බවට පත්වුණා.

ඉනිඅවන් චිත්‍රපටය බලලා කිව්වේ සාරි ටික ලස්සනයි කියලා විතරයි

කොහොමද ඊට පස්සේ අම්මගේ ප්‍රතිචාර?

අම්මාට සතුටුයි. හැබැයි ඒ සතුට මට පෙන්නුවෙ නැහැ. ඉනිඅවන් චිත්‍රපටය බලලා කිව්වේ සාරි ටික ලස්සනයි කියලා විතරයි. මොකද මම ඒ චිත්‍රපටයට ඇන්දේ අම්මගේ සාරි.

සෝමරත්න දිසානායකගේ සුනාමි චිත්‍රපටය ඔබේ ජීවිතය වෙනස් කරනවා...

රූපවාහිනියේදි රේණුකා අක්කව මුණගැහෙනවා. සෝමරත්න සර් ඇයව එක්කගෙන යන්න ආපු වෙලාවට මම කිව්වා තවත් චිත්‍රපටයක් ගහන්නකෝ කියලා.

කලින් ඔබ සෝමරත්න දිසානායකගේ චිත්‍රපට බලලා තියෙනවද?

‘සරෝජා’ එකේ නිත්‍යවානි වෙන්න මමත් හීන දැක්කා.

කොහොම හරි අවස්ථාව ලැබුණනේ...

ඔව්, එදා මම ‘ගිරිපුර වැසි’ චිත්‍රපටය රූපගත කිරීම් කර කර ඉන්නකොට සෝමරත්න සර් කතා කරලා කිව්වේ සුනාමි චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට ඔයාව අරගත්තා කියලා. මම එදා සතුටට කෑගැහුවා.

නමුත් එය අවාසනාවන්ත අවසානයක් වුණා නේද?

රූපගත කිරීම් සියයට සීයක් සාර්ථකයි. චිත්‍රපටය දින 50ක් සාර්ථකව තිරගත වුණා. නමුත් කොරෝනා ප්‍රශ්නය අපේ මහන්සිය අපතේ හැරියා.

ඔබ චිත්‍රපටයේ රඟපාන්න ඕන නිසා බොරුවක් කිව්වා නේද?

ඔව්. මට පීනන්න පුළුවන්ද කියලා ඇහුවම මම ඔව් කිව්වා. පීනන්න ගියාම මට බැහැ. බැණුම් අහ අහා පීනන්න ඉගෙන ගත්තා.

ග්ලිසරින් නැතුව ඔබට අඬන්න පුළුවන්ලු නේද...

මම රඟපානකොට ඒ චරිතයට සමවැදෙනවා. ඒ මොහොත මගේ කරගන්නවා. සුනාමි චිත්‍රපටයේ මම ඇත්තටම අම්මා කෙනෙක් වුණා. කුසෙන් දරුවෙක් වදලා නැති වුණාට මම දරුවන්ට අම්මා කෙනෙක් වුණා. ඒ දරු කැක්කුම කොච්චරද කියනවා නම් ග්ලිසරින් නැතුව ඇඬුවා.

මේ අවුරුද්දේ සම්මාන උළෙලවල් නැති වීම පාඩුවක් නෙවේද?

ඕක හැමෝම කියනවා. උඹට සුනාමි නිසා හොඳම නිළිය වෙන්න පුළුවන් කියූ අය උන්නා. අපි බලමු..

ටෙලි නාට්‍යවල රඟපාන්න කැමැති නැද්ද?

නැහැ, මම චිත්‍රපට නිළියක් කියනවටයි කැමැති.

ආදරය ගැන මොකද හිතෙන්නේ...

ආදරය සුන්දරයි.

මාව දාලා ගියත්, බූට් තිබ්බත් මම බඳින්නේ සිංහල කොල්ලෙක්ව

දැන් විවාහ වෙන කාලේ හරි නේද?

මම අනිවාර්යයෙන්ම විවාහ වෙනවා. විවාහ වෙන්නෙත් සිංහල කොල්ලෙක් එක්ක. මාව දාලා ගියත්, බූට් තිබ්බත් මම බඳින්නේ සිංහල කොල්ලෙක්ව. ඒක මගේ හිතේ ඇතිවෙච්ච ලොකු සිතිවිල්ලක්.

අනාගතය ගැන මොකද හිතෙන්නේ...

මම ලොකු බැඳීම් එක්ක ජීවත් වෙන්නේ නැහැ. හෙට ගැන ලොකු බලාපොරොත්තු නැහැ. දෙවියන්ගේ ශක්තියට වඩා ස්වභාව දහමේ ශක්තිය දැඩිව විශ්වාස කරනවා. ක්‍රිෂාන්ත පුෂ්පකුමාර  
 

More News..