brand logo

ඉන්දියන් සාගරය මළමුහුදක් වෙන හැටි

26 February 2019

බෙංගාල බොක්කේ වෙනස්කම් මෙතෙක් අපට ඇති කළේ මහවැසි, දැඩි සුළං, ගංවතුර වැනි ආපදා පමණි. බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු කලාපයේ වර්ග කි. මී. 60,000 ක මළ මුහුදක් (Dead Sea) නිර්මාණය වෙමින් ඇතැයි අසන්නට ලැබීමත් සමග තවත් අවදානමක් ගැන සිතන්නට අපට සිදුව තිබේ. පසුගියදා ගාල්ල මහින්ද විද්‍යාලයේදී දේශනයක් කරමින් හිටපු නාවික හමුදාපති ආචාර්ය ජයනාත් කොළඹගේ මේ අවදානම ගැන කාගේත් ඇස් විවර කළේ ය. ඉන්දීය සාගරයේ බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදේ ‘‘අජීවී කලාපයක්’ නිර්මාණය වෙමින් ඇතැයි සාගර විද්‍යාඥයන් මත පළ කළේ මිට වසර 2,3 කට පමණ සිටය. එහෙත් ඒ ගැන ප්‍රමාණවත් අවධානයක් යොමු වූ බවක් දක්නට නොතිබිණි. මෙවැනි මුහුදු කලාප උතුරු හා දකුණු ඇමෙරිකාවේද, නැමීබියාව හා ඉන්දියාවේ බටහිර මුහුදු කලාපයට එපිටින් අරාබි මුහුදේද දැකිය හැකිය. බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු කලාපය පිළිබඳ ගවේෂණය කළ විද්‍යාඥයන්ට ඔක්සිජන් හිඟවෙමින් තිබීම නිරීක්ෂණය කළ හැකි විණි. සෙසු මළ මුහුදු කලාපවල මෙන් නයිට්‍රජන් තොර වීමක් නොවීය. එසේ වුවද එම සමුදුරු පරිසරයෙන් නයිට්‍රජන් බැහැර කළ හැකි ක්ෂුද්‍ර ජීවී විශේෂ හඳුනා ගැනීමට හැකි විය. ජර්මනියේ ටැක්ස් ප්ලාන්ස් ආයතනයේ විද්‍යාඥයන් මේ අවදානම ගැන අනතුරු ඇඟවූයේ එකී නිරීක්ෂණ ඔස්සේය. සාගරයේ ඇති නයිට්‍රජන් බැහැර කරන ප්‍රධාන මුහුදු කලාපයක් බවට බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු කලාපය පත්විය හැකි යැයි ඔවුහු කියා සිටියහ. මේ පිළිබඳ තොරතුරු Nature Geo sciences ජර්නලයේ ප්‍රකාශයට පත් විය. ඒ අන්දමින් නයිට්‍රජන් බැහැර වීම සාගරයේ නයිට්‍රජන් සමතුලිතතාවට බලපෑම් ඇති කරන අතර එය සමුද්‍රීය නිෂ්පාදන ක්‍රියාවලියට බලපායි. ගෝලීය උෂ්ණත්වය ඉහළ නැගීමද මළ මුහුදු කලාප ඇතිවීමට බලපාන බව අනුමාන කෙරේ. බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු කලාපයට එම බලපෑම් කෙසේදැයි තවමත් නිශ්චය වී නැත. බෙංගාල බොක්කේ සාගර පරිසරයේ ඇතිවිය හැකි වෙනස්කම්, කාලය විසින් පෙන්නුම් කරනු ඇතත් ඒ අනර්ථකාරී බලපෑම් වීමට තුඩුදෙන මානව ක්‍රියාකාරකම් අවම කිරීම ගැන විද්‍යාඥයෝ කලක සිටම අනතුරු ඇඟවූහ. හිටපු නාවික හමුදාපතිවරයා අවධාරණය කළ පරිදි ශ්‍රී ලංකා මුහුදේ මෙන්ම සමස්ත ලෝකයේමත් විශාලම සතුරා ප්ලාස්ටික්ය. ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ වසර 2025 වන විට ප්ලාස්ටික් අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් මිලියන 17.5 ක් දක්වා ඉහළ යනු ඇතැයි ගණන් බලා තිබේ. එය විශාල ප්‍රමාණයකි. මුහුදේ අැති එම ප්ලාස්ටික් බෝතලයක් දිරාපත් වීමට වසර 400 ක කාලයක් ගතවන අතර එයද මුළුමනින්ම දිරාපත් වීමට ලක් වන්නේ නැත. උෂ්ණත්වය ඉහළ යාම නිසා සිදුවන්නේ එය කැබලිවලට කැඩී යාමය. ඒවා ක්ෂුද්‍ර කොටස් ලෙස සැලකේ. එම ක්ෂුද්‍ර කොටස් මසුන් විසින් ආහාරයට ගන්නා අතර ඒ ඔස්සේ මිනිස් සිරුරටද ඇතුළු වේ. අපේ ළමයින් හා වැඩිහිටියන් විවිධ රෝගාබාධවලට ලක්වීමට එවැනි විෂද්‍රව්‍ය අපේ කෑම පිඟාන හරහා ශරීරයට ඇතුළු වීම බලපා ඇති බව අවධානයට ලක්විය යුතු යැයිද හිටපු නාවික හමුදාපතිවරයා අවධාරණය කරයි. ඉන්දු සයුරේ මුතුඇටය වීම මෙන්ම රට වට කළ මහ සයුරද, මනරම් වෙරළ තීරයද අපේ ආඩම්බරයට කාරණාය. ඒ ආඩම්බරය රැක ගැනීමට අපි යුහුසුළු විය යුතු වෙමු. ධම්මික සෙනෙවිරත්න
 

More News..