brand logo

ඉදිරි මහ මැතිවරණයෙත් අපේ ලකුණ පොහොට්ටුව - ප්‍රසන්න කියයි

11 February 2020

ඉදිරි මහා මැතිවරණය පුටුව ලකුණින් තරග කරන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර ගිවිසුමක් නැතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එළඹ ඇති ගිවිසුම් දෙක මගින් ද එය තහවුරු වන බව පෙන්වා දෙන ඇමතිවරයා ඉදිරි මහා මැතිවරණය අනිවාර්යෙන් ම තරග කරන්නේ පොහොට්ටුව ලකුණින් බවත් කියා සිටී. ඉදිරි මහා මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තරග කරන ලකුණ සම්බන්ධයෙන් අද (11) ගම්පහ දී මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ බව සදහන් කළේය. මෙහි දී තවදුරටත් අදහස් දැක් වූ රණතුංග මහතා මෙසේද කීවේය. ගෝඨාභය රාජපක්ෂ මහතා සමගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමගත් ඇති කර ගත් අවබෝධිතා ගිවිසුම් දෙක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් එළියට දාලා තියෙනවා. ඒ ගිවිසුම් දෙකේ ම සන්ධානයක් ගැන කථා කළාට ඉදිරි මැතිවරණයට තරග කරන ලකුණක් ගැන සදහන් නෑ. අපි ඒකයි මුල ඉදලාම කියන්නේ මොන මොන නම් වලින් මොන මොන සන්ධාන හැදුවත් අපේ ලකුණ පොහොට්ටුව කියලා. අපි ඉදිරි මහා මැතිවරණය පොහොට්ටුවෙන් තරග කරලා තුනෙන් දෙකක බහුතර බලය සහිත ආණ්ඩුවක් පිහිටුවනවා. එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය සම්බන්ධයෙන් අදහස් දැක් වූ ප්‍රසන්න රණතුංග ඇමතිවරයා පක්ෂයේ බලය ගන්න බැරි විපක්ෂ නායක කොහොමද රටේ බලය ගන්නේ‘ යැයි ප්‍රශ්න කළේය. එදා ඩයිනමෝව හොදයි, මෝටරය හොදයි කිය කිය ගිය සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා අද නැවත විහිලුකාරයෙක් බවට පත් වෙලා. එදා ගෝඨාභය ජනාධිපතිතුමාට ඡන්දය දෙන්න එපා කියපු සජිත් අද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ අගමැතිකම කරන්නම් කියලා පිංසේණ්ඩු වෙනවා.    
 

More News..