brand logo

ඉදිරි පැය 48 තීරණාත්මකයි - ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාග ගැන තීරණය හෙට

06 October 2020

රට තුළ නැවතවරක් කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තවීමත් සමග උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගය පැවැත්වී සම්බන්ධයෙන් අවසන් තීරණය අධ්‍යාපන අමාත්‍යංශය විසින් හෙට දිනයේදී ගනු ඇතැයි කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. අද (06) උදෑසන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ හෙට (07) දිනයේදී නිකුත් කිරීමට නියමිත PCR පරීක්ෂණ වාර්තා සලකා බැලීමෙන් අනතුරුව පාසල් දරුවන්ගේ විභාග සම්බන්ධයෙන් තීරණය ගැනීමට නියමිත බවයි. ඒ අනුව ඉදිරි පැය 48 ඉතාමත් තීරණය වනු ඇති බව ද කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා පැවසීය. පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් මස 11 වැනි ඉරුදින පැවැත්වීමට සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ඔක්තෝබර් මස 12 වැනි දින සිට නොවැම්බර් මස 06 වැනිදා දක්වා පැවැත්වීමට රජය තීරණය කර තිබිණි. කොවිඩ් ආසාදිත කාන්තාව සේවය කළ මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ තවත් සේවිකාවන් 220 දෙනෙකුට කොවිඩ් ආසාදිත බවට අද උදෑසන තහවුරු විය. එම නියැදියේ ඊයේ (05) රාත්‍රී වනවිට කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව සටහන් වූයේ 101 ක් ලෙසය. ඒ අනුව මිනුවන්ගොඩින් හඳුනා ගැණුනු නවතම කොවිඩ් නියැදියේ මේ වනවිට හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 321කි.
 

More News..