brand logo

ඉදිරි දින දෙක තුළ වැසි තත්ත්වයේ අඩුවීමක්

30 November 2018

දිවයින පුරා වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් ඉදිරි දින දෙක තුලදී බලාපොරොත්තුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව දෙසැම්බර් 01 සහ 02 යන දිනවලදී වැසි අඩුවීමට ඉඩකඩ ඇති බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ. කෙසේ වෙතත් උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැකියි. මේ අතර පොතුවිල් සිට මඩකලපුව සහ ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක සිහින් වැසි ඇති විය හැකි අතර, ගාල්ල සිට කොළඹ සහ පුත්තලම හරහා මන්නාරම දක්වා වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දිශාවෙන් හමන අතර සුළගේ වේගය පැ.කී.මී. 30-40 පමණ විය හැකියි. කොළඹ සිට පුත්තලම හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සහ ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩිවිය හැකි අතර එවිට, එම මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැකියි. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං (පැ.කි.මී 70-80 පමණ) ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාරත්මේන්තුව සදහන් කරන්නේ.
 

More News..