brand logo

ඉදිරි දින දෙක තුළ තද වැසි

29 October 2019

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින වායුගෝලයේ කැලඹිලි ස්වභාවය හේතුවෙන් ගිනිකොන, දකුණු, නිරිත සහ බස්නාහිර මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදීම අවදානම් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින කැලඹිලි ස්වභාවය දකුණු මුහුදු ප්‍රදේශය හරහා ශ්‍රී ලංකාවට බටහිර දෙසින් වන මුහුදු ප්‍රදේශයට ගමන් කරමින් පවතින බව ද එම දෙපාර්තමේන්තුව පවසයි. මේ හේතුවෙන් පොතුවිල් සිට හම්බන්තොට, ගාල්ල සහ කොළඹ හරහා පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තද වැසි ඇතිවිය හැකි බවත්, සුළඟේ වේගය පැයට කිලෝමීටර් හැත්තෑවක්,අසූවක් පමණ දක්වා ඉහළයාහැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඔවුන් පවසන අන්දමට එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළුවිය හැකි ය. අම්බලන්ගොඩ සිට මාතර දක්වා වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළ යා හැකි බවත්, මේ හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණිය හැකියැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව, දකුණ, බස්නාහිර, වයඹ, මධ්‍යම, සබරගමුව සහ නැගෙනහිර යන පළාත්වලට ඉදිරි දින දෙක තුළදී ද මිලි මීටර් එකසිය පනහත්, දෙසීයත් අතර තද වැසි ඇතිවන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
 

More News..