brand logo

ඉදිරි ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා එ.ජා.ප. කෙනෙක් විය යුතුයි

22 November 2018

"ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයෙක් අපි බලාපොරොත්තු වෙනවා. හැබැයි ඒ පොදු අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂයේ කෙනෙක් විය යුතුයි. වෙනත් පක්ෂකයක කෙනෙක් පොදු අපේක්ෂකයෙක් වෙනවා නම් චමින්ද විජේසිරි එයට සූදානම් නැහැ. අපි රෑ වැටුණු වලේ දවල් වැටෙන්න ඕනි නැහැ. පොදු අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂයෙන් ගේන ඒ වැඩ පිළිවෙලට දිවි හිමියෙන් කැපවෙනවා" යනුවෙන් බදුල්ල දිස්ත‍්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි මහතා පවසනවා. මන්ත‍්‍රීවරයා මෙම අදහස් පලකලේ ඊයේ (21) බණ්ඩාරවෙලදී පැවති මාධ්‍ය හමුවකදීයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත‍්‍රීවරයා.... "ඉදිරියේදී මේ රටේ සිද්ධ වෙන්නේ රටේ නීතියට ගරු කරණ ව්‍යවස්ථාවට ගරු කරණ රටේ සමස්ත සමාජයටම වැඩ කරන්න පුලූවන් දේශපාලන කණ්ඩායමක් තමයි නිර්මාණය වෙන්නේ. අපි හිතනවා එවන්වූ යෝජනා එවන්වූ අදහස් අපේ පක්ෂයේ නායකත්වයත් ගත යුතුයි. එක්සත් ජාතික පක්ෂය තුල ඉන්න මේ රටේ සමස්ත පුරවැසියා බලාපොරොත්තුවන දේශපාලන චරිතයන් ඉදිරි මැතිවරණ සඳහා ඉදිරිපත් විය යුතුයි. එසේ නොවුනොත් මම හිතන්නේ අපි දේශපාලන පක්ෂය ගැන නෙවෙයි රට ගන තීන්දු තීරණයක් ගන්න වෙනවා. පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරයෙක් හැටියට මටත් පක්ෂය ගැන නෙවෙයි රටේ අනාගතය ගැන හිතලා අනාගතය ගොඩ ගන්න පුලූවන් පක්ෂය තුල ඉන්න පක්ෂයෙන් බැහැරව ඉන්න චරිතත් එක්ක එකතු විය යුතුයි කියන මතය අපි දරනවා. මම හිතනවා රනිල් වික‍්‍රමසිංහ නායකතුමා මේ මොහොතේ රටේ නීතිය හදලා ව්‍යවස්ථානූකූලව කටයුතු කරන්න උත්සහ ගන්නවා වගේම එවන්වූ පාලනයකට යන්න පුලූවන් පාලකයා නිර්මාණය කිරීමේ වගකීම මේ වෙලාවේ ඔබතුමාට මතක් කරලා දෙනවා. ඔබතුමාට ඒදේ කරන්න පුලූවන්. ඔබතුමා ඒ පිළිබඳ පැහැදිලිව පිළි අරන් තිබෙනවා. ඒ පිළිගැනීම තුල අපි බලාපොරොත්තු වෙනවා මේ ජයග‍්‍රහණයෙන් පස්සේ ව්‍යවස්ථානූකූල ජයග‍්‍රහණයෙන් පස්සේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජයග‍්‍රහණයෙන් පස්සේ ඔබතුමා මූලිකත්වය දරලා පක්ෂයේ අභ්‍යන්තරයතුල ඒදේ නිර්මාණය කරලා රට ඉල්ලන රටේ ජනතාව ඉල්ලන ඒ පාලනය නිර්මාණය කරන්න කටයුතු කරමු. ඒ වෙනුවෙන් කැප වෙන්න අපි සූදානම්. අපි මුදලට කවදාවත් විකිනෙන්නේ නැහැ. අපිට මුදල් ගණුදෙනු සඳහා විවිධ ඞීල් ආවා. හැබැයි අපි අපේ පාක්ෂිකයා, රටේ ජනතාව, රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය මුදලට පාවාදෙන්න අපිට කිසි සේත්ම හැකියාවක් නැහැ. එවන්වූ අවස්ථාවකට පෙළඹිච්ච පෙළඹෙන්න ඉන්න ඒ ජනතා නියෝජිතයින්ට පාඩමක් දෙන්න රටේ ජනතාව කටයුතු කළ යුතුයි කියන කාරණය පෙන්වා දෙනවා." "අපි දැක්කා පහුගිය දිනවලදී පාර්ලිමේන්තුව තුල සිදුවෙච්ච දේවල්. මහින්ද රාජපක්ෂ කියන චරිතයේ අභ්‍යන්තරයේ තියෙන ඔවුන්ගේ දේශපාලන ක‍්‍රියාදාමය මොකක්ද කියන කාරණය මුළු රටම දැක්කා. ඔවුන් සිල් රෙදි පොරව ගත්තට කැලේ මාරු වුනාට පුල්ලි මාරු වෙන්නේ නැහැයි කියන කාරණය රටට පෙන්නුවා. ඔවුන්ට ඒකාධිපති පාලනයක් අවශ්‍යයි. ඔවුන්ට මිලිටරි පාලනයක් අවශ්‍යයි. පාර්ලිමේන්තුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය බිඳ දමන්නට ඔවුන්ට අවශ්‍යයි. එවන් පාලනයක් මේ රටට නොගැලපෙනවා කියන කාරණය පැහැදිලිව පෙන්වා දෙන්නට ඕනි." යනුවෙන් මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් පැවසුවා.
 

More News..