brand logo

ඉදිරියේදී කොවිඩ් මරණ ගැන වැඩියෙන් කතා කරන්න වෙයි

05 November 2020

කොවිඩ් ව්‍යාප්තියත් සමග මේ වන විට මෙරට තුළ සිදුවන මරණ පිළිබදව බලන විට සමාජයක් වශයෙන් බැරෑරුම් ස්ථානයකට රටම ගමන් කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ ගෙවුනු සති දෙක තුළ කොවිඩ් මරණ 11ක් වාර්තා වී ඇති බවයි. මේ පිළිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය හරිත අලුත්ගේ මහතා..... පළවැනි අවස්ථාවේ ඉදලා මාස 9ටම සිදුවුනේ මරණ 13යි. නමුත් මේ සති දෙක ඇතුළත මරණ 11ක් වාර්තා වෙලා තියෙනවා. එතකොට රෝග ව්‍යාප්තිය වගේ මරණ සම්බන්ධයෙනුත් බැරෑරුම් තැනකට අපි ගමන් කරලා තියෙනවා කියන එක පැහැදිලියි. දැන් මේ මැරිච්ච සමහරක් අයගේ කොවිඩ් රෝගියෙක් කියලා දැනගන්නේ මරණ පරීක්ෂණයෙන්. ඒ කියන්නේ සමහරක් අය මරණයට පත්වෙලා තියෙන්නේ ගෙවල්වලමයි. ඒක අපේ විශේෂ අවධානයකට යොමු විය යුතුයි. නමුත් අපිට ප්‍රායෝගිකව පේන්න තියෙන දේ තමයි මේ වෙලා තියෙන මරණ සංඛ්‍යාව සහ දැන් නිවාස ආශ්‍රිතව මරණ සිද්ධ වෙන යටතේ ඉතාම පැහැදිලිව ඉදිරියේදී මරණ සම්බන්ධව මීට වැඩිය කතාකරන්න වෙයි. එතකොට සමහරක් දෙනෙක්ගේ පී.සී.ආර්. මුලින් නෙගටිව් වෙලා තිබිච්ච අය තමයි මරණයෙන් පස්සේ පොසිටිව් වෙලා තියෙන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශනය කරන පී.සී.ආර්. පරීක්ෂණ නැවත නැවත සිදුකිරීමේ අවශ්‍යතාවය ඉතා පැහැදිලව මෙම මරණ ඔස්සේ තහවුරු වෙනවා. අනිත් කාරණේ මේ ගෙවල්වල ඉන්න වයසක අය තමයි ගොඩක්ම මැරිලා තිබුණේ. එතකොට ඒකෙන් පැහැදිලි වෙන දේ තමයි ඒ අය සමාජයට ගිහිල්ලා නෙමෙයි ඒ රෝගය බෝ වුණේ. වෛරසය ගෙදරට ඇවිල්ලා. ජනතාව විදිහට අපිට ලොකු වගකීමක් තියෙනවා මේ මොහොතේදී අවධානම් කණ්ඩායම් රැකබලා ගැනීම.
 

More News..