brand logo

ඉදිකිරීම් කර්මාන්තයට නව රෙගුලාසි

09 July 2020

කර්මාන්ත ක්ෂේත්‍රයේ පුහුණු ශ්‍රමිකයන් ලියාපදිංචිය, හැඳුනුම්පත් නිකුත් කිරීම, වැරදි සහගත ක්‍රියාවල නියුතු කොන්ත්‍රාත්කරුවන්ට දඬුවම් ලබාදීම සහ විනය ක්‍රියා පටිපාටි සම්බන්ධයෙන් නව රෙගුලාසි හඳුන්වා දී තිබේ. ‘ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනත’ යටතේ මෙම රෙගුලාසි ප්‍රකාශයට පත්කර ඇත්තේ නාගරික සංවර්ධන, ජල සම්පාදන හා නිවාස පහසුකම් විෂය භාර ඇමැතිවරයා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ විසිනි. මෙම ‘2020 ඉදිකිරීම් කර්මාන්ත රෙගුලාසිවල’ සේවකයෝ, ඉදිකිරීම් ස්ථාන අධ්‍යක්ෂවරු, මධ්‍යම මට්ටමේ කාර්මික නිලධාරීහු සහ වෙනත් වෘත්තිකයෝ, සුදුසුකම් ලත් පුද්ගලයන් සඳහා විනය ක්‍රියා පටිපාටි, කොන්ත්‍රාත්කරුවන්ගේ විනය සහ ශිල්පීය හැඳුනුම්පත් රෙගුලාසි ඇතුළත් වේ. එසේම සියලුම සේවකයන් හා නිලධාරීන් සම්බන්ධ ලේඛනයක් මෙම රෙගුලාසිවලට අනුව කර්මාන්තකරුවන් විසින් පවත්වාගෙන යා යුතු අතර අදාළ ලේඛනය ‘මහජන පරීක්ෂාවන්’ සඳහා විවෘත විය යුතුය. මෙම රෙගුලාසිවලට අනුව කර්මාන්තයේ නියුතු සියලු දෙනාම හැඳුනුම්පත් නිකුත් කිරීම අනිවාර්ය වන අතර 2014 අංක 33 දරන ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනත යටතේ නිකුත් කෙරුණ මෙම කිසිදු රෙගුලාසියක් කර්මාන්තකරුවන් විසින් උල්ලංඝනය නොකළ යුතුය. මීට අමතරව ව්‍යාපාරික ගනුදෙනුවලදී සාධාරණ හා අවංක වීමෙන් ඉදිකිරීම් කර්මාන්තයේ සෞඛ්‍ය ආරක්ෂා කිරීම සඳහා සියලුම හැඳුනුම්පත් හිමියන්ට චර්යාධර්ම පද්ධතියක්ද මෙමගින් හඳුන්වා දී තිබේ. එසේම තමන්ට අදාළ වන රෙගුලාසි උල්ලංඝනය කරන කොන්ත්‍රාත්කරුවන්ට එරෙහිව කර්මාන්ත සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට දඩ මුදල් පැනවිය හැකි බලතල මෙමගින් පවරා දී ඇත.   නයන තරංග ගමගේ
 

More News..