brand logo

ඉතිහාසයේ පළමු වරට සම්පත් බැංකුවේ මුළු වත්කම් ට්‍රිලියනය ඉක්මවයි

31 August 2020

ඉතිහාසයේ ප්‍රථම වරට සම්පත් බැංකුව සිය මුළු වත්කම් ප්‍රමාණය රුපියල් ට්‍රිලියනය සීමාව ඉක්මවා ඇත. වසර තිස්තුනක් වැනි කෙටි කාලයක්දී මෙවැනි සන්ධිස්ථානයකට ළඟා වූ ශ්‍රී ලංකාවේ ළාබාලතම ව්‍යාපාරික සංවිධානය සම්පත් බැංකුව විය හැකි බව එම බැංකුව නිවේදනයක් මගින් පවසයි. පුළුල් ශාඛා ජාලය, තොරතුරු තාක්ෂණයේ ප්‍රවීණත්වය හා ඒ සම්බන්ධව සිදු කරන ලද සැලකිය යුතු ආයෝජන හේතුවෙන් මෙම අභියෝගාත්මක කාල සම​යේ කිසිදු බාධාවකින් තොරව කටයුතු කිරීමට සම්පත් බැංකුවට හැකි වූ බවත්, සෑම අංශයකින්ම දැඩි බලපෑමට ලක් වූ ගනුදෙනුකරුවන්ට අවශ්‍ය සියලු සහන සැලසීමට ක්‍රියාකාරීව පියවර ගත් බවත් එම නිවේදනයේ සඳහන්ය. එම නිවේදනයේ මෙසේද සඳහන්ව ඇත. ‘‘2020 ජූනි 30 වැනිදායින් අවසන් වූ මාස හය සඳහා සම්පත් බැංකුව බදු පෙර ලාභය ලෙස රුපියල් බිලියන 5.32 සහ බදු පසු ලාභය ලෙස රුපියල් බිලියන 3.97 ක් වාර්තා කර ඇත. 2020 මාර්තු මස මැද භාගයේ සිට පැවැති පෙර අත් නොදකින ලද අභියෝග මධ්‍යයේ වුවද, 2019 වර්ෂයේ අනුරූපී කාලපරිච්ජේදයට සාපේක්ෂව බදු පෙර ලාභය සහ බදු පසු ලාභයෙහි පහත වැටීම පිළිවෙළින් 8% කට සහ 3.2% කට සීමා කිරීමට බැංකුවට හැකි වී ඇත. 2020 වර්ෂය සඳහා ළඟා කරගැනීමට අපේක්ෂා කරන ඉලක්ක වෙත බැංකුව ශක්තිමත් ප්‍රගතියක් ලබාදී තිබේ. 2020 ජුනි 30 දිනෙන් අවසන් වූ මාස හය සඳහා සම්පත් සමූහයේ බදු පෙර ලාභය සහ බදු පසු ලාභය පිළිවෙළින් 7.7% කින් සහ 4.2% කින් පහත වැටුණු අතර එය පිළවෙළින් රුපියල් බිලියන 5.48 ක් සහ රුපියල් බිලියන 3.99 ක් විය. සමාලෝචනයට භාජනය වූ කාලසීමාව තුළ සම්පත් බැංකුවේ සමස්ත වත්කම් පදනම 4.5% (වාර්ෂික 9%) කින් වර්ධනය වූ අතර එය 2020 ජූනි 30 වැනිදාට රුපියල් ට්‍රිලියනයට ළඟා විය. එය 2019 දෙසැම්බර් 31 වැනිදා වන විට රුපියල් බිලියන 962 ක් විය. සමාලෝචනයට භාජනය වූ කාල සීමාව සඳහා රුපියල් බිලියන 28 ක වර්ධනයක් වාර්තාකරමින්, 2020 ජුනි 30 දිනට දළ ණය සහ අත්තිකාරම් 3.9% ( වාර්ෂික 7.8%) කින් වර්ධනය වී රුපියල් බිලියන 748 දක්වා ළඟා වී ඇත. එම කාලපරිච්ජේදය තුළදී 10% (වාර්ෂික 20%) වර්ධනයක් සහිතව මුළු තැන්පතු පදනම රුපියල් බිලියන 72 කින් වර්ධනය වී, වාර්තා කරන දිනට රුපියල් බිලියන 790 ක් ලෙස වාර්තා විය. මේ අතර ජංගම ඉතුරුම් ගිණුම් අනුපාතය 2019 දෙසැම්බර් 31 වැනිදාට 35.2% සිට 2020 ජූනි 30 වැනිදාට 36.6% ක් දක්වා ආන්තිකව වර්ධනය වී ඇත.
 

More News..