brand logo

ඉතාලි ගිහින් නූලෙන් බේරුණ මහින්ද පතිරගේ

27 May 2020

රාජ සභාවේ පුරෝහිත මේ දවස්වල සකලගුරු හි මුදලාලි බවට පත්වෙලා. හැම කාලයකම විවිධ චරිතවලින් ආදරය දිනාගෙන සිටින මහින්ද පතිරගේ ඉතාලිය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක සංචාරයකින් පසුව ලංකාවට පැමිණ සිටින ආරංචි ඔස්සේ අපි ඔහු ඇමතුවා. යුරෝපීය සංචාරයක නිරත වූවා කියල ආරංචියි... ඔව්, අපි ලංකාවට ආවේ මාර්තු 2 වැනිදා. ටෙනිසන් කුරේගේ ‘රැළිය’ වේදිකා නාට්‍ය රැගෙන අපේ නාට්‍ය කණ්ඩායම ප්‍රංශය, රෝමය, ස්විට්සර්ලන්තය ඇතුළු රටවල් කිහිපයක සංචාරයක යෙදුණා. ඔබලා සංචාරයේ යෙදුණ වකවානුවේ යුරෝපයේ තත්ත්වය මොන විදිහටද පැවතුණේ? අපි යුරෝපයට ඇතුළු වෙද්දි ඒ රටවල දරුණු විදිහට මේ තත්ත්වය පැතිරිලා තිබුණෙ නැහැ. නමුත් අපිට මිලානෝ නගරයේ නාට්‍ය දර්ශනය පවත්වන්න නියමිත වූ දවසෙ අපි පැයකට කලින් ශාලාවට ගියත් පසුව අපිට දැනගන්න ලැබුණා මිලානෝ නගරයේ නගරාධිපතිවරයා පවතින තත්ත්වය හේතුකරගෙන නාට්‍ය දර්ශනය පැවැත්වීම අත්හිටෙව්වා කියලා. ඊට පස්සෙ? ඊට පසුවදාම අපි ස්විට්සර්ලන්තය බලා පිටත්වුණා. මොකද ස්විට්සර්ලන්තයේ අපි හිටිය ප්‍රදේශය එතරම් ජනාකීර්ණ නැහැ. සුරක්ෂිත බවක් තියෙන බව දැනගත්ත නිසා අපට ආපසු ලංකාවට එන්න තිබුණේ ඉතාලියෙන් වුණත් අපි ඒ ගමන අවලංගු කරගෙන ස්විට්සර්ලන්තය හරහා ආපහු ලංකාවට ආවා. මේ දවස්වල? රටේ පවතින තත්ත්වයට අනුගත වෙලා රටවැසියෝ විදිහට අපේ සහයෝගය ලබා දෙමින් අපි පැත්තකට වෙලා ඉන්නවා මේ තත්ත්වය සමහන් වෙනතුරු. මෑත කාලයේ සකලගුරුගේ චරිතය නිසා ඔබ දෙසට රසික අවධානය යොමුවෙලා නේද? මේ නාට්‍යයේ ඉතා ජනප්‍රිය නළු නිළියන් බොහොමයක් හිටියා. ඔවුන්ගේ රංගනයන් අතරින් මගේ රංගනය මතුවෙයි කියල මම හිතුවෙ නැහැ. නමුත් ලංකවේදි විතරක් නෙවෙයි පසුගියදා අවසන් කළ සංචාරයේදි ස්විටසර්ලන්තයේ ප්‍රංශයේ ජීවත්වෙන ලාංකිකයන් කුඩා දරුවන් මට මුදලාලිගේ චරිතයට ප්‍රතිචාර දැක්වූවා. හාස්‍ය රංගනයේදි ඔබ ඔබට ආවේණික රටාවකට නේද එය ඉටුකරන්නෙ? හාස්‍ය රංගනයේ යෙදෙන කෙනෙකුට තමන්ට ආවේණික ශෛලීන් තියෙනවා. ඒ ගති ලක්ෂණයත් රැකගෙන වෙනස් මානයක රංගනයක් ඉදිරිපත් කරන්න තමයි මම හැම වෙලාවෙම උත්සාහ කරන්නේ. රාජ සභාවේ පිනා සහ කෝරලේ මහත්තයාහි පිනාගේ චරිත ලක්ෂණ තියෙන චරිත දෙකක් විදිහට කියන්න පුළුවන්. ඒ චරිත දෙකටම වඩා වෙනස් කෙනෙක් සකලගුරුහි මුදලාලි. ඔබව ලංකාවේ ප්‍රකට චරිතයක් බවට පත්කළ රාජසභාව වෙත යමුද? රාජ සභාවට යනව කියන්නේ අපේ කතාබහ ඈත අතීතයට ගෙන යන්න වෙනවා. 1979 රජරට සේවය පටන් ගත්තේ ගුණදාස මධුසිංහ. ඩැනියෙල් ලියනගේ සහ මං ළඟ හාස්‍ය රංගනයක් තියෙනවා කියල හඳුනගත්තේ ප්‍රේමකීර්ති ද අල්විස් මහතායි. එතුමා අපිට රජරට සේවයේ රසවිට කරන්න අවස්ථාව ලබාදුන්නා. ඔය අතරේ අපේ එක් සගයෙක් වන ඩැනියෙල් ලියනගේ හදිසි රිය අනතුරකින් මියගියා. ඔහුට කරන ගෞරවයක් විදිහට අපි වෙන කාවවත් අපේ වැඩසටහනට එකතු කර නොගෙන අපි දෙන්නා ඉදිරියට අරගෙන ගියා. පසුව කොළඹට ඇවිත් ගුවන්විදුලියට සම්බන්ධ වෙන්න ලැබුණා. නමුත් ගුවන්විදුලි රාජ්‍ය මාධ්‍යයක් නිසා අපිට සීමාවන් යටතේ තමයි ඉදිරිපත් කිරීම් කරන්න වුණේ. පස්සෙ රුපවාහිනියෙත් විකට වැඩසටහන් කළා. රාජ සභාව ගැන අපේ අදහස් කිව්වම ඔවුන් ටිකක් මැලිවුණා. රාජ්‍ය මාධ්‍යයක් නිසා ඔය අතරේ තමයි අපි ස්වර්ණවාහිනියට රාජ සභාවේ අදහස ඉදිරිපත් කළේ. ඔබ හා හාස්‍ය මැවූ රාජ සභාවේ රජතුමා අද කරළියෙන් බැස ගිහින්ද? ඒක ඉතා කනගාටුදායක් තත්ත්වයක්. ගුණදාස මධුසිංහ මහත්මයගේ අසනීප තත්ත්වය නිසා රංගනයෙන් ඈත් වුණා. අපි ආපු ගමන ඉදිරියට යන්න බැරිවුණ එක ගැන කනගාටුවක් තියෙනවා. නැවතත් එතුමා වේදිකාවට නොඒවිද? එතුමා ඉන්නේ අනුරාධපුර ජේතවනාරාමයට ආසන්නයේ. සුළු ව්‍යාපාර කටයුත්තක් කරගෙන ඉන්නවා. නැවතත් සුහද ආරාධනයක් ලැබුණොත් එතුමා නැවත රංගනයට නෑවිදින් ඉන්න එකක් නැහැ. නමුත් ඒ ගැන අහන්න වෙන්නෙ එතුමාගෙන්ම තමයි. අද වනවිට නිර්මාණකරුවන් ඔබ හාස්‍ය ළඟම නතර කරලා නේද? ඒක හැමෝටම පොදු නැහැ. උදාහරණයක් විදිහට කමල් අද්දරආරච්චි මහත්මයා මට කෙටි චිත්‍රපටයක රඟපාන්න ඇරයුම් කළා. ඒ චිත්‍රපටය ඉන්දියාවේ සිනමා උළෙලක සම්මානයකුත් ලැබුවා. එහි මම රඟපෑවේ ගැඹුරු චරිතයක්. ඒ වෙද්දි මම හාස්‍ය නළුවෙක් විදිහට ප්‍රකටව හිටියත් කමල් අද්දරආරච්චි මට බය නැතිව ඒ චරිතය කරන්න දුන්නා. ඒ වගේ හාස්‍යයෙන් පිට චරිත ලැබෙන අවස්ථා තියෙනවා. හාස්‍යමය චරිතම ඉදිරිපත් කිරීමට සිදුවීම ගැන ඔබ හිතේ නොමනාපයක් තියෙනවද? අනේ නැහැ. මම ප්‍රහසනයට අපහාස කරන්නෙ නැහැ. ප්‍රහසනය මේ වගේ තැනකට දාලා තියෙන්නේ විචාරකයෝ මිස ප්‍රහසන කලාව නෙවෙයි. විදේශ රටවල ප්‍රහසන නිර්මාණ සඳහාම වෙනමම සිනමා උළෙලවල් තියෙනවා. අපේ රටේ ප්‍රහසන චරිතයකට ඇවිත් වෙනත් චරිතයකට ගියහම ප්‍රහසනය අමතක කරන අය ඉන්නව. මම එහෙම නැහැ. කවදා හරි දවසක මට චරිතාංග නළුවා කියන තැනට යන්න වාසනාව ලැබුණොත් මගේ හාස්‍ය රංගනය අවතක්සේරු කරන්නෙ නැහැ. ඔබගේ පවුලේ තොරතුරු මොනවද? මගේ බිරිඳ කුමුදුනි ගුණවර්ධන. ඇය ගායිකාවක්, නිවේදිකාවක්. දැන් ස්වේච්ඡාවෙන් අනුරාධපුර මහාබෝධි විද්‍යාලයේ සෞන්දර්ය විෂයන් උගන්වනවා. අපිට දුවෙකුයි, පුතෙකුයි ඉන්නවා. දුව සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක්. පුතා ව්‍යපාරයක් කරගෙන යනවා. මහින්ද පතිරගේ කියන්නෙ වෘත්තීය රංගන ශිල්පියෙක්ද? කොළඹ වැඩ තියෙන වෙලාවට කොළඹ ගියාට ඒ වැඩ ඉවරවුණ ගමන් මම ගම්පළාතට එනවා. මම මුලින් වාණිජ චිත්‍ර ශිල්පියෙක්. ඩිජිටල් කලාව ආවට පස්සෙ වාණිජ චිත්‍ර කලාවට තිබුණ අවස්ථා අඩුවුණා. මට මගේ පියාගේ ඇවෑමෙන් උරුම වුණ ව්‍යාපාරයක් තියෙනවා සොමිදිසි පික්චර්පැලස්. එම ව්‍යාපාරය හා පූජා භාණ්ඩ අලෙවිසලක් මම අනුරාධපුරයේ මාර්කට් පෙදෙසේ පවත්වාගෙන යනවා. ධම්මිකා සුරංජි පතිරණ
 

More News..