brand logo

ඉඩෝර කාලේ යැපෙන්නේ කොහොමද කියලා සංගීත් කියලා දුන්නා - ශාන් ඩයස්

08 September 2019

‘‘සනිධප’’ මිනිස්සු අතරට ගියේ කොහොමද? අපි කණ්ඩායමක් විදියට වැඩ පටන් ගත්තේ 2000 අවුරුද්දේ. ඒ සංගීත් විජේසූරියගේ නායකත්වයෙන්. ඒ වෙද්දී එක්තරා සංගීත කණ්ඩායමක් වටා රැල්ලක් හැදිලා තිබුණා. අපිට ඕන වුණේ වෙනස් විදියට වැඩක් කරලා මිනිස්සු අතරට යන්න. 2000 මැයි 22 අපි මුලින්ම පුහුණුවීම් කළා. පළමු එළිමහන් ප්‍රසංගය කළේ 2000 අවුරුද්දේ ජූලි මාසේ 28 වැනිදා. ඒ දේවස්ථානේ මංගල්‍යය වෙනුවෙන්. අනිත් කණ්ඩායම් එක්ක තරගයක් දුන්නේ කොහොමද? ටීම් එකක් විදියට අපි ඉන්නේ හරිම අවබෝධයෙන්. අවුරුදු 19 ක් තිස්සේ ප්ලෙයර්ස්ලා එකට ඉන්නවා. ඒ නිසා ගේමක් නැතුව අපිට ගහන්න පුළුවන්. පටන් අරන් අවුරුද්දක් වගේ පොඩි කාලයක් ඇතුළේ කාටත් අභියෝගයක් වෙන්න සනිධපට පුළුවන් වුණා. ප්‍රසංග අඩු කාලයක් ආවොත් මොකද කරන්නේ? අපිට සාමාන්‍යයෙන් ප්‍රසංග අඩුවෙන්නේ නැහැ. මාසෙකට 10 ක් වගේ ලැබෙනවා. ඒත් සුනාමි කාලේ මාස එකහමාරක් විතර ප්‍රසංග ලැබුණේ නැහැ. ඒ වගේම අප්‍රේල් 21 ප්‍රහාරය නිසා මාස 3 ක් අපි එළිමහන් ප්‍රසංග කළේ නැහැ. ඒ වගේ ප්‍රශ්න එද්දී සමහර සංගීත කණ්ඩායම්වල අය රට ගියා. ඒ විතරක් නෙමෙයි. තව තව සංගීත කණ්ඩායම්වලටත් මාරුවෙලා ගියා. සංගීත් අයියා අපිට දීලා තිබුණා ඉඩෝර කාලයක් ආවම කණ්ඩායම රැකගන්න ඕන හැටි ගැන. ඒ නිසාම 2008 ඉඳන් කරපු ප්‍රසංගවලින් ලැබෙන මුදලින් කොටසක් පොදු ගිණුමකට එකතු කළා. ප්‍රසංග නැති මේ පසුගිය මාස තුනෙත් කණ්ඩායමට පඩි ගෙව්වේ ඒ ගිණුමින්. රු. 50,000 එක්කෙනෙක්ට ගෙව්වා. ඒ විතරක් නෙමෙයි. ප්‍රසංග අඩු සමහර මාසවලදී අමතරව රුපියල් 25,000 ක් වගේ ගෙවන්නත් ඒ ගිණුම භාවිත කළා. අවරුද්දකට ​ප්‍රසංග 120ක් විතර කරන්න ලැබෙනවා. මාසෙකට ලක්ෂ 2 ක් වගේ හොයනවා. මතක් කරන්නම ඕන. එදා අපි දුර දිග බලලා වැඩ කරපු නිසා ප්‍රසංග නැති වුණත් පඩි ගෙවලා මට කණ්ඩායම රැකගන්න ලැබුණා කියලා හිතෙනවා. අවුරුදු 19 ක් කණ්ඩායමක් විදියට පවතින්න කරපු කැපකිරීම්? හැමදාමත් මූලික තැන දුන්නේ රස්සාවට. අපි විදේශීය රටවල්වලින් දේවල් ඉගෙන ගත්තා. තවමත් ඉගෙන ගන්නවා. ගොඩාක් සංගීත කණ්ඩායම් වරද්දගන්න තැන් තියෙනවා. ඒවා අවබෝධ කරගන්න පුළුවන්නම් ගොඩක් වටිනවා. කලාකරුවෙක්ට නොමිලයේ ලැබෙන දේවල් ටිකක් තියෙනවා. මත්පැන්, සිගරට් විතරක් නෙමෙයි අපි පිරිමි නිසා කාන්තා ආකර්ෂණයත් ඉහළින්ම ලැබෙනවා. එහෙමයි කියලා ඒ හැමදේම පාවිච්චි කරන්න ගත්තොත් ඒක තමයි කලාකරුවාගේ විනාශය. දෙවියෝ දෙන දේවල් මොනවාද වගේම යක්ෂයෝ දෙන දේවල් තේරුම් ගන්න ඕන. හරි වැරැද්ද තෝරා බේරා ගෙන ජීවත් වෙන්න ඕන. සනිධප කියන්නේ නායකත්වයක් හරියට නැති කණ්ඩායමක්ද? බාරගන්න දේ හරියට කරන්නේ කවුද? එයා තමයි නායකයා. නායකයෙක් ඉන්න ඕන කණ්ඩායම ඇතුළේ විතරයි. වගකීමක් දරන්න පුළුවන්නම් ඒකයි වැදගත්. අනික අපේ කණ්ඩායමේ නායකත්වය ප්‍රේක්ෂකයන්ට අදාළ වෙන්නේ නෑනේ. කණ්ඩායම එක ස්ථාවරයක තියාගන්න පුළුවන් එකයි වැදගත්. සංගීත් අයියාවත් පත් කළේ අපි. ‘‘සංගීත් විජේසූරිය ප්‍රමුඛ සනිධප’’ කියලා විශේෂ කළේ නැහැ. මං අදටත් ‘‘ශාන් ප්‍රමුඛ සනිධප’’ කියලා දාන්න දෙන්නෙත් නැහැ. ඒත් විවිධ කාර්නිවල්වල ඇහෙනවා ‘‘ශාන් ප්‍රමුඛ සනිධප’’ කියලා. මං ඒ කියන තැන හොයාගෙන ගිහින් කියනවා ඒ ‘‘ශාන් ප්‍රමුඛ’’ කෑල්ල දාන්න එපා කියලා. අපි සනිධප කවුරුත් කපාගෙන යන්න හදන කණ්ඩායමක් නෙමෙයි. අනික කැපී පේන්න ඕන කියලා වැරදි දේවල්වලට යොමුවෙන පිරිසක් අපේ ටීම් එකේ නැහැ. ජනප්‍රිය වෙන්න අද ගොඩාක් දෙනෙක් දුවනවා. උඩ පනිනවා. නටන්නම ඕන නැහැ මිනිස්සු අතරට යන්න. තමන්ගේ දක්ෂතාව ඉදිරිපත් කරලා සංගීතය දන්න මිනිස්සු ළඟින් ආදරේ දිනාගන්න එකයි වටින්නේ. කණ්ඩායමට නීති රීති පද්ධතියක් තියෙනවාද? නීති රීති දාගෙන අපි කවුරුත් ඉන්නේ නැහැ. අපි ගරු කරන්නේ ඩිසිප්ලීන්වලට. අනික පරිණත උදවිය ඉන්න කණ්ඩායමක් ඇතුළේ හැමෝම වගකීම් ඉටු කරනවා. ඒ ආදර්ශත් එක්ක අලුතින් ආව සින්දු කියන මල්ලිලා පරණ අයටත් වඩා කලින් වැඩ කරනවා. සතුටුයි ඒ ගැන. ලංකාවේ කණ්ඩායම් සංගීතය ගැන මොකද හිතෙන්නේ? මම මේ ගැන මීටින්වලත් කතා කරනවා. 2008න් 2010 න් පස්සේ කණ්ඩායම්වල සංගීත ක්ෂේත්‍රය මුළුමනින්ම විනාශ වුණා. මං බය නැතුව කියනවා කිසිම ප්‍රමිතියක් නැතුව එළිමහන් වේදිකාව භාවිත කළා. ගීත පවා ප්‍රේක්ෂකයෝ නටවන්න හිතන් කළා. එහෙම නටවන්න හිතන් හැමදේම කළාට පැවැත්මක් නැහැ. ආපු මිනිස්සු පළවෙනි සින්දුවේ ඉඳන් නටවන්න අපිට ඕන වුණේ නැහැ. අපි මහ රෑටත් ප්‍රසංගවල Slow සින්දු ගහනවා. අනික මතක හිටින්න දේවල් නටවලාම කරන්න බැහැ. මේ විනාශයට හේතු විදියට මං දකින්නේ කවුරු හරි කෙනෙක් ගෙනාපු දෙයක්. ළාබාල සංගීත ශිල්පීන් වගේම සංගීත කණ්ඩායම් හොඳද, නරකද කියලා බලන්නේ නැතුව වැලඳ ගන්නවා. අනික ලෝකයේ තියෙන සංගීතය හදාරන්නේ නැතුව සංගීත ක්ෂේත්‍රයට ආවට වැඩක් නැහැ. අපිට සංගීත් අයියා උපදෙස් දුන්නා වගේ උපදෙස් දෙන්න හොඳ නායකයෝ ඉන්නවා නම් මීට වඩා ක්ෂේත්‍රය දියුණු වෙයි කියලා හිතනවා. ඉෂාරා අ​බේගුණසේකර
 

More News..