brand logo

ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ලිපිකරුවෙකුට වසර 06ක සිර දඬුවම්

03 September 2019

ඉඩමකට අදාළ ව බලපත්‍රයක් සකස් කර දීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂයක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගැනීමේ චෝදනාවට වරදකරු කෙරුණු ඉඩම් කොමසාරිස් කාර්යාලයේ ලිපිකරුවෙකුට කොළඹ මහාධිකරණය විසින් අද (03) බරපතළ වැඩ සහිත වසර හයක සිර දඬුවම් නියම කරන ලදී. දීර්ඝ නඩු විභාගයකින් පසුව කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විසින් ඉඩම් කොමසාරිස් කාර්යාලයේ ලිපිකරුවකු වශයෙන් කටයුතු කළ අමරවංශ අබේසිංහ නැමති 48 හැවිරිදි විවාහක පුද්ගලයෙකුට මෙම දඬුවම නියම කළේය. ඉඩම් කොමසාරිස් කාර්යාලයේ ලිපිකරුවකු වශයෙන් සේවය කළ මෙම විත්තිකරු ඉඩමකට අදාළව බලපත්‍රයක් සකස් කරදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂයක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා තිබේ. පසුව එම මුදල අල්ලස් වශයෙන් ලබා ගත් අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරින් විසින් මෙම විත්තිකරු අත්අඩංගුවට ගෙන තිබුණි. අනතුරුව ඔහුට එරෙහිව අල්ලස් කොමිසම විසින් චෝදනා හතරක් යටතේ කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර ගොනු කරනු ලැබීය. එම නඩුව දීර්ඝ ලෙස විභාග කළ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබූ චෝදනා හතරක් සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බව තීන්දු කළේය. ඒ අනුව එක් චෝදනාවකට වසර තුනක් බැගින් වසර 12 ක සිර දඬුවමක් විත්තිකරුට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එම දඬුවම වසර හයකින් ගෙවී යා යුතු බවට ද සිය තීන්දුවේ සඳහන් කර සිටියේය. (අධිකරණ වාර්තාකරු)
 

More News..