brand logo

ඇවන්ට් ගාඩ් නඩුවෙන් ගෝඨා ඇතුළු 08දෙනෙකු නිදහස්

23 September 2019

ඉකුත් රජය සමයේ ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමට ගාලු වරාය ආසන්න මුහුදු තීරයේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය දීම මගින් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩුවක විත්තිකරුවන් ලෙස නම්කර සිටි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු අට දෙනෙකු අභියාචනාධිකරණය විසින් දෙනු ලැබූ නියෝගයකට අනුව නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (23) නියෝග කළාය. මෙම නඩුව අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය විසින් දෙනු ලැබූ නියෝගයේ පිටපතක් මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කර තිබුණි. එම නියෝගය සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් අට දෙනකු නිදහස් කරන ලෙස නියෝග කළාය. කෙසේ වෙතත් නිසි නීතිමය ක්‍රියා පටිපාටිය අනුගමනය කරමින් විත්තිකරුවන්ට එරෙහිව යළි නඩුවක් ගොනු කිරීමට අල්ලස් කොමිසමට බාධාවක් නොමැති බව අභියාචනාධිකරණ තීන්දුවේ සඳහන් කර ඇතැයි ද මහේස්ත්‍රාත්වරිය මෙහිදී එම කොමිසමට පෙන්වා දුන්නාය. නඩුවේ විත්තිකාරියක ලෙස නම් කරනු ලැබ සිටි ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම්වරියක වූ දමයන්ති ජයරත්න මහත්මිය මේ වනවිට අධිකරණය මගහැර විදේශගතව සිටින හෙයින් ඇය නොමැතිව නඩු විභාගයක් පැවැත්වීමට තීන්දුකල මහේස්ත්‍රාත් අධිකරණය ඇය අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා වරෙන්තු ද මීට පෙර නිකුත් කර තිබුණි. එම විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අශෝක වීරසූරිය මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායිකාව නිදහස් කිරීමට අධිකරණය තීරණය කර ඇති නිසා ඇය අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් නිකුත් කර තිබෙන වරෙන්තුවද ආපසු කැඳවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය. ඊට ප්‍රතිචාර දැක්වූ මහේස්ත්‍රාත්වරිය අදාළ විත්තිකාරිය නිදහස් කිරීමට අධිකරණය තීරණය කළද ඇයට එරෙහිව නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවීම සඳහා ඇය අධිකරණය හමුවේ පෙනී සිටීම අවශ්‍ය බව සඳහන් කර සිටියාය. එසේ අධිකරණය හමුවේ පෙනී සිට විත්තිකාරියට සිය වරෙන්තුව ආපසු කැඳවා ගත හැකි බව ද මෙහි දී මහේස්ත්‍රාත්වරිය ඇයගේ නීතිඥවරයාට පෙන්වා දුන්නාය. මෙම නඩුව ගොනු කිරීම සඳහා අල්ලස් කොමිසමේ කොමසාරිස්වරු තිදෙනකු විසින් ලබාදුන් අනුමැතියෙහි ලිඛිත පිටපත් අල්ලස්කොමිසම විසින් අධිකරණය හමුවේ ඉදිරිපත් කර නොමැති හෙයින් එම නඩුව විභාග කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බව දක්වමින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතිඥවරු ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් මීට පෙර ප්‍රතික්ෂේප කරනු ලැබූ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය එම නඩුව ඉදිරියටත් විභාග කිරීමට තීන්දු කර තිබුණි. එම නියෝගය අහෝසි කරන ලෙස ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළත් එම ප්‍රතිශෝධන පෙත්සම ද මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය. ඉන් අනතුරුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය සහ කොළඹ මහාධිකරණය විසින් දී ඇති එම නියෝග අහෝසි කර තමන්ව සියලු චෝදනා වලින් නිදහස් කරන ලෙස ඉල්ලමින් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කළ අභියාචනාධිකරණය අල්ලස් කොමිසම විසින් අදාළ නඩුව පවරා ඇති ආකාරය නීතියට පටහැනි බව තීන්දු කරමින් අදෘළ නඩුවෙන් විත්තිකාර ගෝඨාභය රාජපක්ෂ මහතා නිදහස් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත නියෝග කර තිබුණි. මෙම නඩුවේ විත්තිකරුවන් අතර ජයන්ත පෙරේරා, ජයනාත් කොළඹගේ සහ සෝමතිලක දිසානායක යන හිටපු නාවික හමුදාපතිවරු තුන් දෙනෙකුද ඇතුළත් ව සිටිති. ඊට අමතරව පාලිත ප්‍රනාන්දු සහ බී. එගොඩවෙල යන විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල්වරු දෙදෙනා ද විත්තිකරුවන් අතරට ඇතුළත්ය. ඊට අමතරව ඇවන්ගාඩ් මෙරිටයිම් සර්විස් සමාගමේ සභාපති මේජර් නිශ්ශංක යාපා සේනාධිපති මහතා ද මෙම නඩුවේ විත්තිකරුවකු ලෙස නම් කර තිබේ. (අධිකරණ වාර්තාකරු)
 

More News..