brand logo

ඇවන්ගාර්ඩ් නඩුවේ විත්තිකරුවන්ට සිතාසි

12 September 2019

ගාලු වරාය ආසන්නයේ හික්කඩුව මුහුදු තීරයේ නෞකාවක් තුළ නිසි බලපත්‍රයක් නොමැතිව ගිනිඅවි සහ ජීව උණ්ඩ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ඇවන්ගාර්ඞ් මැරිටයිම් සර්විසස් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 13 දෙනකුට ලබන 27 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ ත්‍රිිිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (12) සිතාසි නිකුත් කළේය. ධම්මික ගනේපොල, ආදිත්‍ය පටබැඳිගේ සහ මංජුල තිලකරත්න යන කොළඹ මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම සිතාසි නිකුත් කිරීම සිදු කළේය. 2014 වසරේ අප්‍රේල් මස 7 වනදා සහ 2015 වසරේ ඔක්තෝබර් මස 6 වනදා අතර කාලසීමාව තුළ හික්කඩුව මුහුදු තීරයේ එම්.වී. ඇවන්ගාඩ් නැමැති නෞකාව තුළ නිසි බලපත්‍රයක් හෝ නිසි අවසර පත්‍රයක් නොමැතිව ස්වයංක්රීය ගිනි අවි 816 ක් සහ උණ්ඩ 200935 ක් තබාගැනීම සම්බන්ධයෙන් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 13 දෙනකුට එරෙහිව චෝදනා 7574 ක් යටතේ මෙම නඩුව ගොනුකර තිබේ. මෙම නඩුවේ විත්තිකරුවන් අතර රක්නා ලංකා ආරක්ෂක සමාගමේ සභාපතිවරුන් ලෙස කටයුතු කළ වික්ටර් සමරවීර සහ විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු යන අය ද ඇතුළත්ව සිටිති. ඊට අමතරව විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් බී.ඒ. එගොඩවෙල, ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරුන් වන සමන් දිසානායක සහ දමයන්ති ජයරත්න යන මහත්ම මහත්මීන්ද මෙම විත්තිකරුවන් අතරට ඇතුළත්ව සිටිති. මෙම නඩුවේ විත්තිකරුවන් සංවිධානාත්මක ආකාරයෙන් සිදුකළ මෙම අපරාධ ක්‍රියාව පිළිබඳව දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් කැළඹිලි සහගත තත්ත්වයක් මතුවීම හේතුවෙන් මෙම නඩුව ජූරි සභාවක් නොමැතිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කිරීම සුදුසු බවට නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් කරනු ලැබූ ඉල්ලීමකට අනුව අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින් නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නම්කර තිබෙන බව නීතිපතිවරයාගේ සම්බන්ධයෙන් කරන නිළධාරිනි රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කළාය. අධිකරණයට වාර්තාකරු
 

More News..