ඇවන්ගාඩ් නිශ්ශංක සේනාධිපතිට එරෙහිව නඩු පවරන්න අල්ලස් කොමිසම ලිඛිත අනුමැතියක් ගත්තද? - අධිකරණය
18 December 2019
ඇවන්ගාඩ් නිශ්ශංක සේනාධිපතිට එරෙහිව නඩු පවරන්න අල්ලස් කොමිසම ලිඛිත අනුමැතියක් ගත්තද? - අධිකරණය
18 December 2019
ගාලු වරාය ආසන්න මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු ඉටු කර දීම සඳහා රුපියල් ලක්ෂ 355 ක අල්ලසක් දීම හා ලබාගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු සහ ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපතිට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩු පැවරීමේදී එම කොමිසමේ කොමසාරිස්වරු විසින් ඊට අදාළ ලිඛිත අනුමැතියක් ලබා දී තිබේද? යන්න පරීක්ෂා කිරීම සඳහා ජනවාරි මස 20 වනදා විභාගයක් සිදු කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා අද (18) නියෝග කළේය.
අද නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී එහි පළමුවන විත්තිකරු ලෙස නම්කර සිටින පාලිත ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ පෙනී සිටි අතර රිමාන්ඩ් භාරයේ පසුවන දෙවන විත්තිකරු වූ නිශ්ශංක යාපා සේනාධිපති මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
විත්තියේ නීතිඥවරු මීට පෙර නඩු දිනයේ අධිකරණයේ ඉල්ලීමක් කරමින් මෙම නඩුව ගොනු කිරීම සඳහා අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් විසින් ලිඛිත අනුමැතියක් ලබා දී තිබේ ද? යන්න පිළිබඳව විමසීම් කළ අතර එවැනි ලිඛිත අනුමැතියක් ලබා දී තිබේ නම් එය අධිකරණය හමුවේ ඉදිරිපත් කර ලෙස අල්ලස් කොමිසමට නියෝගයක් කරන්නැයි ඉල්ලා තිබුණි.
ඒ අනුව ඊයේ නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ සහකාර අධ්යක්ෂ ජනරාල්වරිය වන තුෂාරි දයාරත්න මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් විසින් මෙම නඩුව ගොනු කිරීමට අදාළව අල්ලස් කොමිසමේ කොමසාරිස්වරු තිදෙනා විසින් යෙදූ සටහන් සහ එම කොමිසමේ සභාපතිවරයා විසින් යෙදූ සටහන් වලට අදාළ ලේඛන අධිකරණය හමුවේ ඉදිරිපත් කළාය. ඒ අනුව මෙම කරුණට අදාළව ඉදිරිපත් වී තිබෙන ලේඛන පිළිබඳ විභාගය ජනවාරි මස 20 වනදා පවත්වන බව මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.
එදින රිමාන්ඩ් භාරයේ පසුවන විත්තිකාර නිශ්ශංක යාපා සේනාධිපති මහතා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසද විනිසුරුවරයා විසින් බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කරන ලදී
ඇවන්ගාර්ඩ් මැරිටයිම් සර්විසස් සමාගමට ගාලු වරාය ආසන්න මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු ඉටු කර දීම සඳහා රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතාට රුපියල් ලක්ෂ 355 ක අල්ලසක් දුන් බවට චෝදනා කරමින් මෙම නඩුව තුළින් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට චෝදනා එල්ල කර තිබේ.
එම ලක්ෂ 355 ක මුදල අල්ලස් වශයෙන් ලබා ගැනීම තුළින් විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතාද වරදක් සිදු කර ඇතැයි මෙම නඩුවෙන් තවත් චෝදනාවක් එල්ල කර ඇත.
(අධිකරණ වාර්තාකරු)