brand logo

ඇවන්ගාඩ් නඩුව වැඩිදුර විභාගයට කැඳවීමට නියම කෙරේ

14 November 2019

ඉකුත් රජය සමයේ ගාලු වරාය ආසන්න මුහුදු තීරයේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු ඉටු කර ගැනීම සඳහා රුපියල් ලක්ෂ 355 ක මුදලක් අල්ලස් වශයෙන් දීම හා ලබාගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික යූධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු සහ ඇවන්ගාඞ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කර තිබෙන නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය පෙබරවාරි මස 14 වනදා යළි ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා අද (14) නියෝග කළේය. මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේ බන්ධනාගාර ගත කර සිටින ඇවන්ගාඞ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි. විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් පතිරණ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුව ගොනු කිරීම සඳහා අල්ලස් කොමිසම විසින් ලබාදුන් ලිඛිත අනුමැතියෙහි පිටපතක් තමන්ට ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය. ඒ අනුව විත්තිය විසින් ඉල්ලා සිටින අදාළ ලේඛනය ලබාදීම සම්බන්ධයෙන් කරුණු සලකා බැලීම සඳහා නඩුව දෙසැම්බර් මස 18 වනදා යළි කැඳවන ලෙස විනිසුරුවරයා නියෝග කළේය. ඊට අමතරව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති මහතා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවට ඉදිරිපත් කර වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙසද විනිසුරුවරයා විසින් බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කරන ලදී. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය පෙබරවාරි මස 14 වන දා යළි විභාගය ආරම්භ කිරීමට නියම කළ අතර සාක්ෂිකරුවන්ට එදින අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි ද නිකුත් කළේය. .ඉකුත් රජය සමයේ ඇවන්ගාඩ් සමාගමට ගාලු වරාය ආසන්න මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කටයුතු ඉටුකර දීම වෙනුවෙන් රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික යුද හමුදාව මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතාට රුපියල් ලක්ෂ 355 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා දුන් බවට ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති මහතාට එරෙහිව මෙම නඩුවෙන් එක් චෝදනාවක් එල්ල කර තිබේ. එම ලක්ෂ 355 ක මුදල අල්ලස් වශයෙන් ලබා ගැනීම සම්බන්ධයෙන් විත්තිකාර පාලිත ප්‍රනාන්දු මහතාට එරෙහිව තවත් චෝදනාවක් එල්ල කර ඇත. (අධිකරණ වාර්තාකරු)
 

More News..