brand logo

ඇවන්ගාඩ් නඩුවේ විත්තිකරුවන්ගේ සංශෝධිත අධිචෝදනා පත්‍රය ප්‍රතික්ෂේපයි

20 February 2020

ගාලු වරාය ආසන්න මුහුදේ නෞකාවක් තුළ නීති විරෝධී ලෙස ගිනි අවි 816 ක් සහ උණ්ඩ 202395 ක් සන්තකයේ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන්ව ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති මහතා ඇතුළු විත්තිකරුවන් 8 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කරන ලද චෝදනා 882 කින් යුත් සංශෝධිත අධිචෝදනා පත්‍රය බාර නොගෙන ප්‍රතික්ෂේප කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් අද(20) නියෝග කළේය. ධම්මික ගනේපොල ,ආදිත්‍ය පටබැඳිගේ සහ මංජුල තිලකරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය සිදු කරන ලදී. ගාලු වරාය ආසන්න මුහුදේ ඒම්.වී. ඇවන්ගාඩ් නෞකාව තුළ නීති විරෝධී ලෙස ගිනිඅවි සහ පතුරම් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති මහතා ඇතුළු විත්තිකරුවන් 13 දෙනකුට එරෙහිව චෝදනා 7573 ක් යටතේ මීට පෙර කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණි. එම චෝදනා ගොනු කර තිබෙන ආකාරය නීතියට පටහැනි බව සඳහන් කරමින් විත්තිය විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් පිළිගත් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් නීතිපතිවරයා විසින් ගොනු කළ චෝදනා 7573 ක් අතුරින් පවත්වාගෙන යා හැක්කේ චෝදනා 19 ක් පමණක් බව පෙන්වා දෙමින් එම නඩුවේ චෝදනා ලබා සිටි විත්තිකරුවන් පස්දෙනෙකු නිදහස් කිරීමට නියෝග කර තිබුණි. ඉන් අනතුරුව නීතිපතිවරයා විසින් ඉකුත් ජනවාරි මස 21 වනදා නඩුවේ ඉතිරිව සිටින ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු සෙසු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව චෝදනා 882 කින් යුත් මෙම සංශෝධිත අධිචෝදනා පත්‍රයක් කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකරන ලදී. මෙම නඩුව ඉකුත් දින කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා විසින් ගොනු කරනු ලැබූ සංශෝධිත අධිචෝදනා පත්‍රයට එරෙහිව ඇවන්ගාඩ් සමාගමේ සභාපති විත්තිකාර නිශ්ශංක සේනාධිපති මහතා ඇතුළු විත්තිකරුවන් කීපදෙනෙක් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු විසින් විරෝධතා ඉදිරිපත් කළහ. මෙහිදී එම නීතිඥවරුන් සඳහන් කර සිටියේ විත්තිකරුවන්ට එරෙහිව සංශෝධිත චෝදනා පත්‍රයක් ඉදිරිපත් කිරීමට නීතිපතිවරයා ගත් පියවර නීතියට පටහැනි බවයි. එමෙන්ම මෙම නඩුවෙන් නිදහස් කරන ලද විත්තිකරුවන් පස්දෙනෙකු ද සංශෝධිත චෝදනා පත්‍රය යටතේ විත්තිකරුවන් ලෙස යළි නම් කිරීමට නීතිපතිවරයා විසින් කර තිබෙන ඉල්ලීම මුළුමනින්ම නීතියට පටහැනි බවත් එබැවින් මෙම චෝදනා පත්‍රය නිෂ්ප්‍රභ කරන ලෙසත් විත්තියේ නීතිඥවරු සිය විරෝධතා මුලින් සදහන් කර තිබුණි. ඒ අනුව විත්තිය විසින් මතුකරන ලද මූලික විරෝධතාව පිළිබඳ තීන්දුව ඊයේ දින ප්‍රකාශයට පත් කළ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නඩුවට අදාළව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන චෝදනා 882 කින් යුත් සංශෝධිත චෝදනා පත්‍රය නීතියට පටහැනි බව තීන්දු කළහ. මෙම සංශෝධිත චෝදනා පත්‍රය මගින් දැනට නිදහස් කර තිබෙන විත්තිකරුවන් ද යළි නඩුවට එක්කර ගැනීමට පියවර ගෙන ඇති බවත් එය නීතියට පටහැනි බවත් සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සඳහන් කළේය. ඒ අනුව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන සංශෝධිත අධිචෝදනා පත්‍රය බාර නොගෙන ප්‍රතික්ෂේප කරන බවත් එම නඩුවට අදාළව මුලින් ගොනු කරන ලද චෝදනා 19 ක් පිළිබඳව විභාගය මැයි මස 4 වනදා සිදු කරන බවත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් නියෝග කරන ලදී 2012 වසරේ ගාලු වරායට ආසන්න බේරුවල මුහුදු තීරයේ එම්.වී. ඇවන්ගාඩ් නැමැති නෞකාව තුළ බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස ගිනිඅවි 816 ක් සහ උණ්ඩ 203395 ක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු විත්තිකරුවන් අට දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා 882 කින් යුත් මෙම සංශෝධිත අධිචෝදනා පත්‍රය ඉදිරිපත් කර තිබුණි.   (අධිකරණ වාර්තාකරු)
 

More News..