brand logo

ඇවන්ගාඩ් නඩුවට මූලික විරෝධතා පිළිබඳ නියෝගය ලබන 20 වනදා

10 February 2020

ගාලු වරාය ආසන්න මුහුදේ නෞකාවක් තුළ නීති විරෝධී ලෙස ගිනි අවි 816 ක් සහ උණ්ඩ 202395 ක් සන්තකයේ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන්ව ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති මහතා ඇතුළු විත්තිකරුවන් 8 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කරන ලද චෝදනා 882 කින් යුත් සංශෝධිත අධිචෝදනා පත්‍රය නිෂ්ප්‍රභ කරන ලෙස විත්තියේ නීතිඥවරු විසින් කරන ලද ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 20 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ මඩුල්ල අද (10) නියෝග කළේය. ධම්මික ගනේපොල ,ආදිත්‍ය පටබැඳිගේ සහ මංජුල තිලකරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය සිදු කරන ලදී. මෙම ඉල්ලීමට අදාළ ලිඛිත සැලකිරීම් තිබේ නම් ඒවා ලබන 17 වනදා හෝ ඊට පෙර ඉදිරිපත් කරන ලෙසද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් දෙපාර්ශ්වයේ නීතිඥවරුන්ට දැනුම් දෙන ලදී. ගාලු වරාය ආසන්න මුහුදේ ඒම්.වී. ඇවන්ගාඩ් නෞකාව තුළ නීති විරෝධී ලෙස ගිනිඅවි සහ පතුරම් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති මහතා ඇතුළු විත්තිකරුවන් 13 දෙනකුට එරෙහිව චෝදනා 7573 ක් යටතේ මීට පෙර කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණි. එම චෝදනා ගොනු කර තිබෙන ආකාරය නීතියට පටහැනි බව සඳහන් කරමින් විත්තිය විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් පිළිගත් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් නීතිපතිවරයා විසින් ගොනු කළ චෝදනා 7573 ක් අතුරින් පවත්වාගෙන යා හැක්කේ චෝදනා 19 ක් පමණක් බව පෙන්වා දෙමින් එම නඩුවේ චෝදනා ලබා සිටි විත්තිකරුවන් පස්දෙනෙකු නිදහස් කිරීමට නියෝග කර තිබුණි. ඉන් අනතුරුව නීතිපතිවරයා විසින් ඉකුත් 21 වනදා නඩුවේ ඉතිරිව සිටින ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු සෙසු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව චෝදනා 882 කින් යුත් මෙම සංශෝධිත අධිචෝදනා පත්‍රය කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකරන ලදී. මෙම නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න මහතා අධිකරණ හමුවේ කරුණු දක්වමින් ඉකුත් 17 වන දින මෙම නඩුව විභාග කරන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල දුන් තීන්දුවක් දීර්ඝ ලෙස අධ්‍යයනය කිරීමෙන් අනතුරුව මෙම සංශෝධිත චෝදනා පත්‍රය ගොනු කර ඇති බව සඳහන් කළේය. මෙම නඩුවෙන් නිදහස් කර හැර තිබෙන සෙසු විත්තිකරුවන් පස් දෙනාද මෙම සංශෝධිත චෝදනා පත්‍රය තුළින් විත්තිකරුවන් ලෙස එක් කර ගන්නා මෙන් ඉල්ලා සිටින බව ද අතිරේක සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න මහතා අයැද සිටියේය. ඊට ඇවන්ගාඩ් සමාගමේ සභාපති විත්තිකාර නිශ්ශංක සේනාධිපති මහතා ඇතුළු විත්තිකරුවන් කීපදෙනෙක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා විරෝධතා ඉදිරිපත් කළේය. මෙහිදී ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියේ විත්තිකරුවන්ට එරෙහිව සංශෝධිත චෝදනා පත්‍රයක් ඉදිරිපත් කිරීමට නීතිපතිවරයා ගත් පියවර නීතියට පටහැනි බවයි. එමෙන්ම මෙම නඩුවෙන් නිදහස් කරන ලද විත්තිකරුවන් පස්දෙනෙකු ද සංශෝධිත චෝදනා පත්‍රය යටතේ විත්තිකරුවන් ලෙස යළි නම් කිරීමට නීතිපතිවරයා විසින් කර තිබෙන ඉල්ලීම මුළුමනින්ම නීතියට පටහැනි බවත් එබැවින් මෙම චෝදනා පත්‍රය නිෂ්ප්‍රභ කරන ලෙසත් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා සිය විරෝධතා ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විත්තිය විසින් ඉදිරිපත් කළ මෙම විරෝධතාව පිළිබඳව නියෝගයක් ලබන 20 වනදා ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කළහ. 2012 වසරේ ගාලු වරායට ආසන්න බේරුවල මුහුදු තීරයේ එම්.වී. ඇවන්ගාඩ් නැමැති නෞකාව තුළ බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස ගිනිඅවි 816 ක් සහ උණ්ඩ 203395 ක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු විත්තිකරුවන් අට දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා 882 කින් යුත් මෙම සංශෝධිත අධිචෝදනා පත්‍රය ඉදිරිපත් කර තිබේ. (අධිකරණ වාර්තාකරු)
 

More News..